ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත් වූ ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් වන ප්රතිවිරෝධතා මැයි මස 29 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (19) පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේය. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අශෝක භරන් මහතා සඳහන් කළේ මෙම පෙත්සමට අදාළ විරෝධතා තමන් වෙත ලැබී ඇති බව ය.
එම විරෝධතා අධ්‍යයනය කළ යුතු බැවින් ප්රතිවිරෝධතා ගොනු කිරීම සඳහා කාලය ලබාදෙන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඬුල්ල අදාළ ප්රතිවිරෝධතා මැයි මස 29 වැනිදාට පෙර ගොනු කරන ලෙස නියම කළේය.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර සිටියි. ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කළ බව පෙත්සමෙහි සඳහන් වේ.