හික්කඩුව සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ භාරකාර ධුරය සඳහා සුදුසුකම් නොලත් අයකු බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත්කරනු ලැබ ඇතැයි කියමින් ඊයේ (19) එම ප්‍රදේශවාසීහු පිරිසක් දේවාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ. දේවාල භාරකාර ධුරය සඳහා පත්කොට ඇති තැනැත්තාට ඒ සඳහා කිසිම සුදුසුකමක් නැති බව ද ඔවුහු කියති.
සීනිගම දේවාල භාරකාර පදවිය සඳහා සුදුසුකම් ලත් අයගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැති බවත් එයට සුදුසුකම් ඇති අය රැසක් සහභාගි වුවත් ඔවුන්ගෙන් එක් අයෙකුට වත් අවශ්‍ය සුදුසුකම් නොමැති බවත් ඔවුහු සඳහන් කරති. එමෙන්ම මෙම තනතුර ලබා නොදීම පිටුපස යම්කිසි දේශපාලන හස්තයක් ඇති බවට සැක කරන බව ද උද්ඝෝෂකයෝ පැවසූහ.
මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා සීනිගම දේවාලයේ හිටපු භාරකරුවන් ලෙස කටයුතු කළ සම්පත් විරාජ් හා සරත් දිසෙන්තුවාහන්දී යන මහත්වරුන්ද සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වුවත් ඔවුන්ගෙන් කිසිම කෙනකුට දේවාල භාරකරු තනතුර ලබා ගැනීමේ අවස්ථාව නොලැබිණි. නව භාරකරු ලෙස පත්වීම ලැබූ ධනුක විජයරත්න මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ තමන් භාරකාර තනතුර සඳහා ඉදිරිපත් වූ අතර තමන්ටද මෙම තනතුර සඳහා ඉහළ සුදුසුකම් තිබූ බවයි. මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එන්.බී. රත්නායක මහතාගේ දුරකතනය සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවත් එයට පිළිතුරු නොලැබිණි.