රට පුරා දිනෙන් දින සිදුවන අපරාධ හා ඝාතන හේතුවෙන් ආරක්ෂාව පිළිබඳ දැඩි ප්රශ්නයක් මතුව ඇතැයි කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්රකාශ කළේය.
අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ ගණේමුල්ලේ සංජීව නම් තැනැත්තා, නීතිඥයකු ලෙසින් පැමිණ ඝාතනය කර ඇති බවත් මේ තත්ත්වය යටතේ විනිසුරුවන් සහ නීතිඥයන්ගේ ආරක්ෂාව පවා දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එබැවින් ආරක්ෂාව පිළිබඳ විශාල ප්රශ්නයක් පවතින බැවින් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම පැවසීය.
දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ගණේමුල්ලේ සංජීව නම් තැනැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.
අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ නීතිඥයකු ලෙස ඇවිත් උසාවි අංක 05දී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. විශාල අර්බුදයක් මේ සිදුව තිබෙන්නේ. ඊයේ රාත්රියේදී මිද්දෙණියෙදි පුද්ගලයකු තම දරුවා සමඟ ඝාතනය කර තිබෙනවා. රටේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්රශ්නයක් තිබෙනවා. කෝට් එක ඇඳගෙන ආයුධයක් අරන් ඇවිත් ඝාතනයක් සිදු කර ගිහින් තිබෙනවා. මේක විශාල ප්රශ්නයක්. මේක විහිළු කතාවක් නෙවෙයි. ගණේමුල්ලේ සංජීව කියලා කෙනෙක්. පාතාලයට සම්බන්ධ කෙනෙක්. ඒක වෙනම කතාවක්. විනිසුරු විසින් සාක්ෂි විමසමින් සිටියදී වෙඩි තියලා මරලා දාලා. ආවේ නීතිඥයකු විදිහට. නීතිඥයනුත් කිසිම ආරක්ෂාවක් නැති තැනට පත් වෙලා. ජනාධිපතිතුමාත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් හොඳින් කතා කළා. මේ ටිකටම මරණ 78ක් සිදු වී තිබෙනවා.