පිටිගල පොලිස් වසමේ මැටිවිලිය, ගල්හිරිය ප්රදේශයේදී ඉකුත්දා අබිරහස් ලෙස පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනා මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්රාත් මධුශිකා වාසලමුදලි මහත්මිය නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූවේ, පිටිගල, මැටිවිලිය, හත්තක පාර ලිපිනයේ පදිංච් කොටපිටිය ආරච්චිලාගේ සාගර වසන්ත කුමාර සහ පිටිගල, මැටිවිලිය, සැනසුම ලිපිනයේ පදිංචි ඊරියමුල්ල විතානගේ සුසන්ත ගුණරත්න නමැති දෙදෙනාය. ඉකුත් 14 වැනිදා අලුයම මැටිවිලිය ගල්හිරේ ප්රදේශයේදී මෙසේ මරා දමා තිබූණේ ළමාහේවගේ චමින්ද කුමාර නමැති 33 හැවිරිදි අවිවාහකයෙකි.
මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වූ ඇල්පිටිය වැඩබලන මහේස්ත්රාත් මුනිදාස හාල්පන්දෙණිය මහතා මෙම මරණයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය.
ඒ වන විට මරණය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොවූවද පරීක්ෂණ පැවත්වූ පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනකු සහ මරණකරුට පහරදීමට යොදා ගත් බව කියන ලීයක් සහ සැකකරුවන් එම අවස්ථාවේ හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් ද අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.