Home » ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව සම තරගකරුවෙක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව සම තරගකරුවෙක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි

by yasara
February 21, 2025 11:01 am 0 comment

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ITC රත්නදීප හෝටලයේ ඊයේ (20) පැවති The Innovation Island Summit – 2025 සමුළුව අමතමිනි.

The Innovation Island Summit – 2025 සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම ඔස්සේ පිළිඹිබු වන්නේ මෙරට නවෝත්පාදනය කෙරෙහි නව ව්‍යවසායකත්වය  තුළ පවතින උනන්දුව සහ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිවරයා  මානව ශිෂ්ටාචාරයේ විවිධ අදියර අප හඳුනාගෙන තිබෙන බවත්, එම මානව ශිෂ්ටාචාරයේ සෑම අලුත් පරිච්ඡේදයක්ම ලියැවෙන්නේ නවෝත්පාදන හරහා බවත් සඳහන් කළේය.

සෑම විටම මිනිස් ශිෂ්ටාචාරය නව අදියරකට ඔසවා තබන්නට නවෝත්පාදන සිදු කළ කාර්යභාරය ඉතා වැදගත් බවත්, මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් නොවන නමුත් අවශ්‍යතාවය සපුරා ගන්නා ආකාරය වෙනස් වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අලුත් අවශ්‍යතා සපුරා ගන්නා මාලිදිය විසින් වෙළෙඳපොළ නිර්මාණය කරන බවත්, නව වෙළෙද පොළක් ඇති වන්නේ අවශ්‍යතා සපුරා ගැනීමේ මාදිලිය වෙනස් වුවහොත් පමණක් බවත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝකයේ රටවල් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ ඔවුන් වෙනස් වන මාදිලිය  හඳුනාගෙන එය අත්පත් කර ගැනීම නිසා බවත්, අසල්වාසී ඉන්දියාව ඊට හොදම නිදර්ශනයක් බවත් කියා සිටියේය.

අපේ රටේ නවෝත්පාදන සඳහා විශාල අවස්ථා තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව 2030 වසර වන විට ඩිජිටල්කරණයේ නව මාවතක් කරා ගෙන යෑමට අපේක්ෂා කරන බවද පැවසීය.

නවෝත්පාදන සඳහා මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවක් ලබා දී ඇති බව කී ජනාධිපතිවරයා නව සොයා ගැනීම් වාණිජකරණය වෙනුවෙන් යොදාගත යුතුව තිබෙන බව ද පැවසීය.

මේ වසරේ ඩොලර් බිලියන 19ක අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත්, එම අපනයන ආදායම සාක්ෂාත් කර ගැනීමට නම් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

නවෝත්පාදනයේ ප්‍රතිලාභ සමස්ත ජනතාව වෙත රැගෙන යෑමේ පරිසරය නිර්මාණය කිරීම රජයේ වගකීම බව පැවසූ ජනාධිපතිවරයා රජය  අපේක්ෂා කරන අරමුණු රැසක් නවෝත්පාදනය හා බැදී පවතින බවද පැවසීය.

ගෝලීය ආර්ථික තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග මෙන්ම ඩිජිටල්කරණය සහ නවෝත්පාදනයේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා  ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ට සහ ආයෝජකයින්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, නව ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන එන ලෙසද ඉල්ලීමක් කළේය.

නවෝත්පාදන හා ව්‍යාපාර සඳහා ධනාත්මක පරිසරයක් රට තුළ දැනටමත් නිර්මාණය කර  තිබෙන බවත්,  ඒ සඳහා  දක්ෂ ශ්‍රම බලකායක් අපේ රට සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT