Saturday, May 3, 2025
Home » ප්‍රවීණ ගායනවේදිනී අමිතා වැදිසිංහ හෙට නික්ම යයි

ප්‍රවීණ ගායනවේදිනී අමිතා වැදිසිංහ හෙට නික්ම යයි

by chanaka
February 24, 2025 8:24 am 0 comment

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායනවේදිනී අමිතා වැදිසිංහ මහත්මියගේ අවසන් කටයුතු හෙට (25) සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

අද (24) පෙ.ව. 8.30 සිට රාත්‍රී 10.00 දක්වා ද හෙට (25) පෙ.ව. 8.30 සිට සවස 3.00 දක්වා ද ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ “රෙස්පෙක්ට්” ශාලාවේ තැන්පත් කර ඇත.

1942 මාර්තු 22 වැනිදා කිරුළපන උපන් අමිතා වැදිසිංහ මහත්මිය මියයන විට 83 වැනි වියෙහි පසු වූවාය.

සරල ගී ශිල්පිනියක ලෙසින් 1962 වසරේ ගායන දිවිය ඇරඹූ අමිතා වැදිසිංහ මහත්මිය දශක පහකට ආසන්න කාලයක් පුරා රසික ජනාදරයට පත් ගායන ශිල්පිනියකි. “කන්ද උඩින් හඳපායන ලීලා”, “බැද්ද පුරා සුදු රෙද්ද වගේ”, “පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි”, “තාරුකාවලින් ලියූ නමුදු අම්බරේ” වැනි ආකර්ෂණීය ගීත රැසක් ඇය ගීත ක්‍ෂේත්‍රයට දායාද කළාය.

ප්‍රවීණ ගායක ශිල්පියකු හා සංගීතවේදියකු වූ වික්ටර් දළුගම මහතා සමග යුග දිවියට පත් ඇය පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ ආදරණීය මෑණියන් වූවාය.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ අමිතා වැදිසිංහ කොළඹ අසෝක විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය, බුලත්සිංහ මහා විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක සංගීත ගුරුවරියක ලෙස සේවය කළාය.

රාමායනය, සකුන්තලා, සිරි සඟබෝ වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ අමිතා වැදිසිංහ මහත්මිය ඉකුත් 19 වැනිදා සිය දිවිසැරිය නිම කළාය. දෙමටගොඩ මිහිඳුසෙන් පුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඇයගේ දරුවන් විදෙස්ගතව සිටි අතර ඔවුන් දිවයිනට පැමිණෙනතුරු අවසන් කටයුතු පිළිබඳව තීරණයක් ගෙන නොතිබිණි.

ඇයගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT