ගෑනු ජාතිය ජරා ජාතිය” “හිර ගෙට මාර්ගය ගෑනිලු”, “ගෑනිට මායම් හැට හතරයි” ඔය වගේ අමුතු වැකි අපේ කටට එන්නෙ සමාජය හෙළන දෘෂ්ටිකෝණත් එක්කමයි. නිකං කට කහනවට ඒවා එන්නෙත් නෑ. ගැහැනිය දුෂ්ට, පාපිෂ්ට, අපිරිසුදු සිතුවිලිවලින් හැදුණු අවාසනාව අල්ල මත තියාගෙන ආපු මනුෂ්‍ය විශේෂයක් කියලා අමුතු විදිහට හංවඩු ගැහුවෙ අදක ඊයෙක නං නෙවෙයි. මිනිස්සු දිහා බලන විදිහට නෙවෙයි තිරිසන් සත්තු දිහා බලන විදිහට තමයි ගැහැනිය දිහා අද සමාජෙ හැමෝම බලන්නෙ. ජෛන ආගමේ පවා ගැහැනිය මුල් වෙලා තිබුණු මාතෘ මූලික සමාජය බමුණන් නිසා නැති වෙනවා. ඇයි ඒ? ගැහැනිය පාච්චල් කරපු නිසා. ඉස්සර අපේ නිර්මාණවල තරුණිය ගැන කියපු විදිහ ඒ භාෂාවෙන්ම කියනවා නම් මෙන්න මෙහෙමයි. “ලාලිත්‍යෙයන් හා සුන්දරත්වයෙන් පිරි තමාටම ආවේණික ගති පැවතුම්, සිතුම් පැතුම්වලින් පිරිපුන් මටසිලිටු වස්තුව” අම්මේ ඉතින් මෙහෙම පුරාජේරු දෙඩෙව්වට අද තියෙන සැලකිල්ලම තමා එදා ගෑනුන්ටත් උරුම වුණේ? හැබැයි, එදා ගෑනු කොටට ඇන්දට කවුරුත් පද හැදුවෙ නෑ. ඒකට අද…
ලංකාවෙ සංස්කෘතිය ගැන ඔයා වගේම මාත් කතා කරන්නෙ මහ උජාරුවෙන්. එදා නම් අපේ සංස්කෘතියෙ අපටම ආවේණික වුණු අමුතු සුන්දරත්වයක් තිබ්බා. අපේ රට පරසුද්දන්ට යටත්වෙලා වහල්ලුන් වගේ අපේ උන් වැඩකරද්දි අපිටම කියලා ඔළුව උඩ තියන් හිටිය සංස්කෘතියට මොකද වුණේ? එදා අම්මාගෙ විළුඹ ළඟට තිබ්බ ඇඳුම අද වෙනකොට දණිස් පොල්කට්ටටත් උඩින් කලව පේන තරමටම කොට වෙලා. එදා අම්මා ගැන මුළු සමාජය පුරාම සුන්දර චිත්‍රයක් ඇඳලා තිබ්බා. ඒත් අද අම්මා ගැන හැඟීමක් නැති වෙන්න මේ ඇඳුම එක හේතුවක් කිව්වොත් ඔයා මොකද හිතන්නෙ? මහ ඉහළින් කතා කරපු අපේ සංස්කෘතිය කොතැන ද කියලා ඔයාට හිතුණද? කෙල්ලෙක් කලිසමක් ඇන්ද ගමන් අපේ සංස්කෘතිය විනාශ වෙනවා නම්, රාගයේ ගිනි දලු නිවාගන්න කෙල්ලො ජල බිංදු කරගත්ත අසහනකාරයො නිසා මේ සංස්කෘතිය රැකෙනව ද?
කෙල්ලෙක් කලිසමක් ඇන්ද පලියට සංස්කෘතිය කෙලෙසනවා නම් අපිට සංස්කෘතියක් තියෙනව ද කියලා බලන්නම වෙනවා. සංස්කෘතිය මනින්න කෙල්ලො මිනුම් දණ්ඩක එක් පැත්තක් කරගන්න අය තමන්ගෙ හැදියාව කොතැණ ද කියල බැලුවනම් මේ තර්කෙ කවදාවත් ඉදිරිපත් වෙන්නෙ නෑ. මෙහෙම කියන මාත් එක්ක සමහරෙක් වාද කරයි “පස්ස පේන්න කලිසම ඇඳන් ගියාම කොල්ලොන්ට ඉන්න බෑ. සංස්කෘතියත් නැති වෙනවා” කියලා. කෙල්ලොන්ට කලිසම අඳින්න එපා කියන්න නම් අනික් හැම පැත්තෙන්ම අපේ සංස්කෘතිය ආරක්ෂා වෙන්නම ඕන. සංස්කෘතිය මොකක්ද කියලවත් දන්නෙ නැති, අද වෙනකොට අපිට සංස්කෘතියක් නැති බවවත් නොදන්න උන් සංස්කෘතිය රැකගන්න අරගල කරනවා. ඒ අරගලේ සටන් පාඨෙ “කෙල්ලො කලිසම් ඇන්දම සංස්කෘතිය විනාශ වෙනවා” “කෙල්ලො කොට ගවුම ඇන්දම සංස්කෘතිය නැත්තටම නැති වෙනවා” කෙල්ලොන්ට කලිසම තහනම් කරන්න නම් අපිට සංස්කෘතියක් තියෙන්න එපැයි? අඳින ඇඳුමෙන් සංස්කෘතිය කෙලෙසෙනවා නම් අම්මාගෙන් පටන් අරන් මහ විප්ලවයක් කරන්නම ඕන. සංස්කෘතිය ගැන අභිමානයෙන් කතා කරන්න අද වෙද්දි අපිට සංස්කෘතියක් ඇත්තෙම නෑ. මේ ගෙවන තත්ත්පරයක් ගානෙ අලුත් දේ සංස්කෘතියට එකතු වෙනවා. එහෙම වුණු පලියට අපේ තිබුණ සංස්කෘතිය නැති කරලා දැම්මම අපිත් වෙන සංස්කෘතීන්ගෙ අතකොළුවක් වෙනවමයි. සංස්කෘතිය ගැන මහ කැක්කුමක් තියන උන් කෙල්ලට ඇඳුම් පැලඳුම් තහනම් කරන්න නම් සංස්කෘතිය ගැන ඉගෙන ගන්න ඕන. අපේ කියලා අපටම ආවේණික සංස්කෘතියක් තියෙන බව කියන්න ඕන. එහෙම නැතිව කලිසමක් ඇන්ද නිසා කොටට ඇන්දා කියලා කෙල්ලෙක්ව සමාජයෙන් කොන් කරන්න කාටවත් පුළුවන්කමක් නෑ. මේක තමයි ඇත්තම කාරණය. කෙල්ලො කොටට ඇන්දම සංස්කෘතිය මනින අපේ සමාජයේ හැංඟුණ ඇත්ත.
මෙච්චර දේවල් හිතන්න තිෙයන අද කෙල්ලො අඳින ඇඳුම ගැන පුහු ආකල්ප හිතේ තියන් කෙල්ලොන්ට චරිත සහතික දෙන එක ගැන ඔයා මොකද හිතන්නෙ? එදා කොට ගවුම් ඇන්දා, ඒවට කිව්වෙ මිනි ගවුම් කියලා. ඒ කාලේ මිනි ගවුම රැල්ලක් වුණා. ඒත් කවුරුත් මුකුත් කිව්ව ද? නෑනේ. එදා ඒ ගවුම එක්ක සංස්කෘතියක් නිර්මාණය වුණා. අද කොටට අඳින එක ගැන ඇයි මේ කලබල? කෙල්ලෙක් කලිසමක් ඇන්ද ගමන් සංස්කෘතිය ගැන මාරම කැක්කුමක් ඇවිත් වගේ කතා කරනවා.
සංස්කෘතිය වෙනස් නොවන දෙයක් නෙවෙයි. ඉතින් එහෙනං ඇයි මෙහෙම දේවල්? කෙල්ලෙක් වුණාම විලාසිතා කරන්න ඕන. ඒක කෙල්ලොන්ගෙ ආසාව. කෙල්ලොන්ගෙ ජීවිතය. සමහරුන්ට එහෙම දේවල් දැක්කම ඇස්වලට කටු අනිනවා වගේ. අපි හැමෝම අපේ ආකල්ප වෙනස් කරගත්තා නං මේ කතාව වෙනස් වෙනවා ෂුවර්. කෙල්ලො කැමැති කොට ගවුමක් අඳින්න නං.. කලිසමක් අඳින්න නං.. එහෙම කරපු දෙන්. අපේ ඇස්වල බැඳන් ඉන්න පුහු කණ්ණාඩිය ගෙලවලා අපි ඇත්තටම අපේ ඇස්වලින් ඒ දිහා බලමු.
සඳුනි අරවින්දිනී