තාප කම්පන තත්ත්වය මාරාන්තික විය හැකියි!
මේ දිනවල පවතින අධික සූර්ය රශ්මිය කිසිවිටෙකත් නොසලකා හැරිය හැකි දෙයක් නොවෙයි. එහිදී කුඩා දරුවන්, රෝගීන් පමණක් නොව සමාජයේ කවුරුත් පරෙස්සම් විය යුතු අන්දම පිළිබඳ මේ දැනුම්වත් කිරීම රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරාගෙනි.
‘ මාර්තු, අප්‍රේල් මාසවලදී මෙරටට ඉර මුදුන්වීම බොහෝ විට සාමාන්‍ය තත්ත්වයක්. අධික අව් රශ්මියක් එකල එක එල්ලේ පොළොවට යොමු වෙනවානේ. මෙහිදී එළිමහනේදී අධිකව දහදිය දමනවා. සිරුරේ ඇති ජලය, ලවණ දෙකම ඒ ඔස්සේ අධිකව සිරුරින් පිටතට යෑමක් දක්නට පුළුවන්. ඊට පිළියමක් වශයෙන් වෙනදාට වඩා වැඩිපුර ජලය පානය කිරීමට කවුරුත් සිතට ගත යුතු වෙනවා. නොඑසේ නම් ක්ලාන්ත ගතිය, වමනය, නිදිමත ඇතිවීම, ආහාර අරුචිය ආදී ලක්ෂණ මතුවී පෙනෙන්නට පුළුවන්.
විශේෂයෙන් හමුදා පුහුණුවීම්, පාසල් ක්‍රීඩා උත්සව සහ ඒ ආශ්‍රිත පුහුණුවීම් කටයුතු, ඉදිකිරීම් වැඩබිම් ආශ්‍රිතව එළිමහනේ වැඩ කිරීම් ආදී අවස්ථාවලදී අධික වෙහෙසක් වෙමින්, දැඩි අව් රශ්මියේ වැඩි වේලාවක් රැඳී සිටීමට ඇතැමුන්ට සිදු වෙනවා. එවිට අඩුවෙන් ජලය පානය හෝ ලවණ අඩංගු ස්වාභාවික පාන වර්ග ආදිය නොගැනීම නිසා තාප කම්පන තත්ත්වයන්ටත් ජනතාව පත් විය හැකියි. එය මරණය ළඟා කරවීමට තරම් කරුණක් බව කිව යුතුයි. එහෙත් සමහරුන් තවම එය එතරම් දැඩිව නොසැලකීම කනගාටුවට කරුණක්. ජලය මෙන්ම දෙහි, දොඩම්, නාරං, තැඹිලි, දෙළුම් ආදී ස්වාභාවික පාන වර්ග ගැනීම හරහා ලවණ, පොටෑසියම් ආදිය සිරුරට එකතු කර ගත හැකියි. එසේම, ආහාර පිසීමේදීත් ලුණු, දෙහි ස්වල්පයක් එකතු කර ගැනීමත් මෙහිදී වැදගත්. අධික හිරු රශ්මියට ඔරොත්තු දෙන පරිදි සැහැල්ලු කපු ඇඳුම් ආදියෙන් සැරසී සිටීම නුවණට හුරු බවත් මෙහිදි කිව හැකියි.
ළමුන් ඇතුළු කවුරුත් දිනකට දෙවරක්වත්, මිනිත්තු 20ක්වත් වන පරිදි ස්නානයටත් මේ දිනවලදී අමතක නොකළ යුතුයි. දරුවන් සම්බන්ධව එය සුවිශේෂීයි. පාසල් යන වයසේ කුඩා දරුවන්ට වෙනදා දෙන වතුර බෝතලයට අමතරව තවත් එකක් යැවීම වැදගත් වන්නේ අඩු නැතිව ජලය පානය කිරීමේ අවශ්‍යතාව තවදුරටත් අවධාරණය කරනු පිණිසයි. එහෙත් පාන වර්ග වශයෙන් කෘත්‍රිම දෑ අඩංගු පැණිබීම වර්ග ළමුන්ට අධිකව දීම අනුමත කළ නොහැකි වන්නේ ඒ ඔස්සේ බෝනොවන රෝග අවදානම ඉහළ යා හැකි හෙයිනි. මේ හැරෙන්නට අධික වියළි කාලගුණ තත්ත්වයක් හමුවේ සමේ රෝග ඇතිවීමේ අවදානමේ ඉහළ යෑමක් ද පෙන්නුම් කෙරෙන බැවින් ඒ පිළිබඳත් ජනතාවගේ නිසි අවධානය අවශ්‍ය කරනවා.
නුවන් ජයවික්‍රම