වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තිබිය දී නොමැති බව පැවසීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් පෙරේදා (22) කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවල සිදු කළ වැටලීම්වලින් වෙළෙඳුන් 39 දෙනකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
වැඩි මිලට සහල් අලෙවි කළ කෑගල්ල ප්‍රදේශයේ පෞද්ගලික සමාගම් දෙකක් ද මෙහිදී වැටලූහ. මේ වැටලීම්වල දී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 16ක්, භාණ්ඩ සන්තකයේ තිබිය දී නොමැති බව ප්‍රකාශ කළ වෙළෙඳුන් 10ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 10ක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කෙරිණි. පසුගිය දින කිහිපයේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ කණ්ඩායම් යොදවා වැටලීම් සිදු කරනු ලැබීය.
කෑගල්ල, වරකාපොළ, ගලිගමුව, සීදුව, මීගමුව, කොටුගොඩ, ගොඩිගමුව, කොටදෙණියාව, කැලණිය, වේයන්ගොඩ, මීරිගම, පස්යාල, වේවැල්දෙණිය, කඩවත, කිරිබත්ගොඩ, දෙල්ගොඩ, කොච්චිකඩේ සහ අවට ප්‍රදේශවල කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය.
සහල් විකිණීමට තිබියදීම සහල් නැතැයි පාරිභෝගිකයකුට ප්‍රකාශ කළ ව්‍යාපාරිකයකුට එරෙහිව ඒ අවස්ථාවේදීම නීතිමය පියවර ගැනීමට කුරුණෑගල දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු පසුගියදා (19) පියවර ගත්හ.
ඒ අනුව ඉකුත්දා (21) දින අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය. එහිදී අදාළ ව්‍යාපාරිකයා වරද පිළිගැනීමෙන් පසුව රුපියල් ලක්ෂ 3කට වැඩි වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කීරි සම්බා සහල් සහිත කිලෝ 5ක අසුරන 237ක ප්‍රමාණය රාජසන්ත කිරීමටත් අදාළ ව්‍යාපාරිකයාට රුපියල් දස දහසක දඩ මුදලක් නියම කිරීමටත් අධිකරණය කටයුතු කරනු ලැබීය.
සහල් වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් අතර කීරි සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 270 සිට 310 දක්වා වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් මෙන්ම අනෙකුත් සහල් ද මෙම අදාළ වෙළෙඳුන් විසින් වැඩි මිලට අලෙවිකර තිබිණි.
සාමාන්‍ය ව්‍යාපාරයක් එවැනි වරදකට වරදකරු වුවහොත් අධිකරණයට නියම කළ හැකි අවම දඩය රුපියල් ලක්ෂයකි. පෞද්ගලික සමාගමක අවම දඩය රුපියල් ලක්ෂ 5ක් බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනුම් දෙනු ලැබීය.
එමෙන්ම භාණ්ඩ සන්තකයේ තිබිය දී නොමැති බව ප්‍රකාශ කරන ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ නිලධාරීන් භාරයට ගනු ලැබේ. එහිදී නඩු පැවරීමෙන් පසුව අදාළ ව්‍යාපාරිකයා අධිකරණයේ දී වරදකරු වුවහොත් දඩ මුදලක් මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකියාව පවතින බව ද පැවසීය.
මලිඳු තෙන්නකෝන්