මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරේදා 22 රාත්‍රී කාලයේ සහ 23 අලුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයෙහි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මේ ඉන්දීය ධීවර යාත්‍රා පහ සමඟ ඉන්දීය ධීවරයන් තිස් දෙදෙනකු (32) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඬපවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව 22 රාත්‍රී කාලයේ සහ 23 අලුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු සහ උතුරු මැද නාවික විධාන මඟින් නිරීක්‍ෂණය කෙරිණි. එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, උතුරු නාවික විධානයට අනුයුක්ත යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි.
මෙම මෙහෙයුමේ දී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා පහ සහ එහි සිටි ඉන්දීය ධීවරයන් තිස් දෙදෙනා තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
මෙම මෙහෙයුමත් සමඟ 2025 වර්ෂයේ මේ දක්වා සිදු කළ මෙහෙයුම් මඟින්, දේශීය ජලතීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා දහ අටක් සහ ඉන්දීය ධීවරයන් එකසිය තිස් එක් දෙනකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.
රක්ෂණ ශ්‍රියන්ත