‘වාපී’ නවකතාව බරපතළ විවාද පන්න අතිවිශිෂ්ට නවකතාවක් බව ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ මහින්ද චන්ද්‍රසේකර විසින් රචිත ‘වාපී’ නවකතාව එළිදැක්වීම නිමිත්තෙන් අනුරාධපුරයේදී පැවැති උත්සවයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ කතාව ලියැවී තිබෙන්නේ මහසෙන් රජු මූලික කරගෙන. ඉතිහාසකරණය මනාව ගළපා රචනා කර තිබෙන මේ නවකතාව ඓතිහාසික නවකතාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඉතිහාසය යන්නෙන් හඳුන්වන්නේ එය එසේ සිදු වූ වගයි කියන එකයි. ලොව බිහි වූ මහා නවකතාකරුවකු වන ලියෝ ටෝල්ස්ටෝයිට ඉතිහාසය ගැනත්, ඉතිහාසඥයන් ගැනත්, ඉතිහාසයට නිර්වචන දෙන සියුම් පඬිවරුන් ගැනත් කියන්නට ඇත්තේ අමුතු කතාවක්. යුද්ධය හා සාමය නවකතාවෙන් ඔහු අපූර්ව විචිත්‍රවත් චරිත නිරූපණයට අමතරව, ඉතිහාසය පිළිබඳව තම මතය හෙවත් මතවාදය දීර්ඝ විමර්ශනයකට භාජනය කරනවා. මේ ගැන කල්පනා කරන විට ‘වාපී’ නවකතාව ලියන ලද මහින්ද චන්ද්‍රෙස්කර වුණත් කිසියම් පමණකට ලියෝ ටෝල්ස්ටෝයිගේ අදහස් සමඟ එකඟව ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.
මහින්ද චන්ද්‍රසේකරගේ මේ නවකතාව ගැන කිව යුතු මූලික කරුණ වන්නේ ඔහු ඉතිහාසයේ සුන්බුන්වලින් සොයා ගන්නා මහසෙන්ගේ ඇටසැකිලිවලට ප්‍රාණයක් දීමයි. එයට විමංසනශීලි බුද්ධියකුත්, මානුෂීය ප්‍රශ්න ඉදිරියේ ප්‍රතික්‍රියා දක්වන හදවතකුත් දෙනවා. ‘වාපී’ කියන්නේ නවකතාවක් මිස ඉතිහාස කතාවක් නොවෙයි.
මේ නවකතාවේ භාෂාව ගැන විශේෂයෙන් කතා කළ යුතුයි. මේ වගේ මධුර මනෝහර ගද්‍ය ශෛලියකින් ලියූ නවකතාවක් මෑත කාලයේ මට කියවන්න ලැබී නෑ. මේ ශෛලිය තුළ ඉන්නේ කවියෙක් සහ ගීත රචකයෙක්. මහින්දට එයින් මිදෙන්න බෑ. පුළුවන් හැම තැනම මෙහි භාෂාව කාව්‍යමය ගුණයෙන් පෝෂණය කරන්න ඔහු උත්සාහ කර තිබෙනවා. මහින්ද භාෂාවට කාව්‍යාත්මක සහ ගීතාත්මක ප්‍රාණයක් දෙනවා. මේ ගුණය මා හඳුනා ගන්නේ අපේ ප්‍රවීණ ලේඛකයන් දෙදෙනකුගෙන්. ඒ තමයි කේ. ජයතිලක සහ මහාචාර්ය සරච්චන්ද්‍රයන්. වාපී ඒ අනුව විශිෂ්ට භාෂා භාවිතයක් සහිත කෘතියක් ලෙස මම දකිනවා. මා වාපී නවකතාවට එබී බැලුවා පමණයි. එය සපුරා විමසා බලන්න පාඨකයාට ඉඩ තබන්න මම කැමැතියි.”
මේ අවස්ථාවට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.