Monday, May 5, 2025
Home » වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාපයේ මංගල වී මිලදී ගැනීම වීරකැටිය ගබඩාවේදී

වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාපයේ මංගල වී මිලදී ගැනීම වීරකැටිය ගබඩාවේදී

by sachintha
February 24, 2025 1:19 am 0 comment

වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාපයේ පළමු වී මිලදී ගැනීම, වීරකැටිය ගබඩාවේ දී ඉකුත් 21 වැනිදා දහවල් සිදුකෙරිණි. වීරකැටිය ගොවිජන සේවා කොට්ඨාසයේ මැදගොඩ, කුඩාගම්යාය ගොවි සංවිධානයේ හේමචන්ද්‍ර රත්නායක ගොවි මහතා රතු නාඩු වී කිලෝ 791ක්, කිලෝවක් රුපියල් 120 බැඟින් වීරකැටිය වී අලෙවි මණ්ඩලයේ ගබඩාව වෙත ලබා දුන් අතර අදාළ තෙතමන ප්‍රතිශතය පරීක්ෂා කිරීමෙන් පසුව එම වී තොගය මණ්ඩලය මඟින් මිලදීගත් බව වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාපය භාර ප්‍රදේශීය කළමනාකරු ඩී. ඉන්දික උපේන්ද්‍ර මහතා පැවසීය. දකුණු කලාපයේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා සියල්ල විවෘත කර අදාළ නිලධාරීන් යොදවා ඇති අතර රජයේ ආරක්ෂිත තොග වශයෙන් යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩා වෙත ලබාදීමට පියවර ගන්නැයි හෙතෙම ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

වීරකැටිය වී අලෙවි මණ්ඩලයේ ගබඩාව වෙත වී කිලෝ 791ක් ලබාදුන් හේමචන්ද්‍ර මහතා කියා සිටියේ, රජයේ පොහොර සහනාධාරය ඇතුළුව ගොවියා වෙනුවෙන් සපයනු ලබන සහන වෙනුවෙන් රජයේ ගබඩා වෙත යම් ප්‍රමාණයක් ලබාදීම සුදුසු හෙයින්, අස්වැන්නෙන් කොටසක් මෙලෙස වී අලෙවි මණ්ඩලයට ලබාදීමට පියවර ගත් බවයි. මෙරට අහිංසක ජනතාව වෙනුවෙන් සහල් ලබාදීම සඳහා රජයට ආරක්ෂිත තොගයක් වශයෙන් වී ලබාදීම අපේ යුතුකම බවත්, වගා හානි සිදුවනවිට රජයෙන් වන්දි ලබාදීම, පොහොර ලබාදීම, වෙනත් සේවාවන් සැපයීම, ජලය ලබාදීම ඇතුළු විවිධ සේවා රජයෙන් සපයන හෙයින් යම් වී ප්‍රමාණයක් මණ්ඩලයට ලබාදීම ගොවියා සතු යුතුකමක් බවත් රත්නායක මහතා කීය.

ලුණම සමූහ – සනත් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT