ගිරාඳුරුකෝට්ටේ ඇතුළු මහවැලි සී. කලාපයේ කුඹුරුවල වී වගාවන් තුළ මේ වනවිට කීඩෑ වසංගතය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. තැන්තැන්වල සුළු වශයෙන් මෙම උවදුර මුලදී දක්නට ලැබුණු නමුත්, මේ වනවිට පැසීමට ඉතා ආසන්න කුඹුරු රැසක්ම කීඩෑවන්ගේ ග්‍රහණයට ලක්වී ඇති බවත්, මෙම උවදුර මර්දනය සඳහා නිසි රසායනිකයක් හෝ විකල්පයක් නොමැති වීම බලවත් පාඩුවක් බවත් ඔවුහු පෙන්වාදෙති.
කෘෂිකර්මාන්තයට අදාළ නිලධාරීන් මේ පිළිබඳව දැනුම්වත් කර ඇති නමුත් ඔවුන්ගෙන් ද සාර්ථක පිළිතුරු ලැබී නොමැති බවට ද ගොවීහු චෝදනා නඟති. ඔවුන් පෙන්වාදෙන්නේ කීඩෑ උවදුරට ලක්ව ඇති ගොයම් කපා ඉවත් කිරීම, කපාගත් කොටස් ගිනි තැබීම වැනි උපදෙස් ලැබෙන නමුත් කීඩෑවුන් ඒ සමඟම වෙනත් ලියදි කරා සංක්‍රමණය වන බැවින් එම ක්රමයන් ද අසාර්ථක බවයි. මේ වනවිට මහවැලි සී. කලාපයේ ගොයම් පැසීමට ඉතා ආසන්න මට්ටමක පවතින අතර වැඩිපුරම කීඩෑ උවදුරට ලක්ව ඇත්තේ පැසීගෙන එන ගොයමයි. වාරි ජලයෙන් පමණක් නොව වැසි ජලයෙන් වගා කෙරෙන ගොඩ ගොවිතැන් කරා ද මෙම උවදුර පැතිර යමින් පවතියි. පසුගිය ගංවතුර උවදුරට ද ලක්ව හානියට පත්වූ මෙන්ම දෙවැනි වරටත් වපුරන ලද කුඹුරු පවා කීඩෑ ග්‍රහණයට ලක්ව ඇති බැවින් ඔවුන් ද පවසන්නේ අවම වශයෙන් වැය කළ මුදලවත් ලබාගත නොහැකි බවයි. මෙම හානිවලට ලක්වූ ගොවීන් වෙත සහනයක් ලබා දෙන ලෙස ද එම ගොවීහු ඉල්ලා සිටිති.
ගිරාඳුරුකෝට්ටේ සමූහ – සෝමදාස සමර ගුණරත්න