Home » ව්‍යවසායකයන් බලගැන්වීම ගම්පහින් ඇරඹේ

ව්‍යවසායකයන් බලගැන්වීම ගම්පහින් ඇරඹේ

by sachintha
February 25, 2025 1:45 am 0 comment

ඇමැති සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහත්වරු සහ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය

ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී සිටින ව්‍යවසායකයන් දිරිගැන්වීමේ ව්‍යාපෘතියක් ලෙසින් , “ FOUR I ” වැඩසටහන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. මෙම කටයුත්තෙහි අරමුණ වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දහසක් බලගැන්වීමයි. ඒ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “ FOUR I ”වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය පසුගිය දා ගම්පහදී ඇරඹුණි.

එහිදී එම දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සියදෙනකු වෙනුවෙන් “ FOUR I ” නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව 2025 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 15ක් ආවරණය කොට ව්‍යවසායකයන් දහසක් දෙනා තෝරා ගනිමින්, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය මේ වනවිටත් සැලසුම් සකස් කර අවසන්ය. අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද “ FOUR I ”වැඩසටහනින් වසර 3 ක් පුරා තෝරාගත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ඵලදායිතාව ඉහළ නංවමින් එම කර්මාන්ත සංවර්ධනය කිරීමට කටයුතු කරන අතර ව්‍යාපාරය සංවර්ධනය කිරීම,රැකියා අවස්ථා වැඩි කිරීම, ව්‍යාපාරයේ ආදායම් ඉහළ නැංවීම සහ වෙ‍ෙළ‍පොළ අවස්ථා වැඩි කිරීම යන කරුණු සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වේ. ඒ අනුව මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබන්නේ වසර 3 කට වඩා වැඩි කාලයක් පවත්වාගෙන ගිය කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ සේවකයන් 10කට වඩා සිටින නිෂ්පාදන කර්මාන්තයි. මෙම ව්‍යාපෘතිය මඟින් කර්මාන්තවල අඛණ්ඩ සංවර්ධනයක් ඇති කිරීම සඳහා නව්‍යකරණ සංකල්පය ක්‍රියාත්මක කිරීම සිදුකරන අතර ඒ සඳහා ව්‍යවසායකයන් හට ප්‍රායෝගික දැනුම ලබාදීමද මේ මඟින් සිදුකරනු ලබයි. “FOUR I ” වැඩසටහන සඳහා දායකත්වය ලබාදෙනුයේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අපනයන සංවර්ධන මණ්ඩලය, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලයයි.

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT