Home » ඉවතලන දෙයින් හැඩවැඩ මවන්නෝ

ඉවතලන දෙයින් හැඩවැඩ මවන්නෝ

by sachintha
February 25, 2025 1:46 am 0 comment

වර්තමාන ලෝකයේ පරිසරයට දැඩි තර්ජනයක් වී ඇති, ඉවත දමන පොලිතින් සහ ප්ලාස්ටික් යන නොදිරන ද්‍රව්‍යයන්ගෙන් වඩා වැදගත්, ඉහළ ගුණත්වයෙන් යුතු, ශක්තිමත් නව නිර්මාණයන් කරමින් පරිසර හිතකාමීත්වයට රුකුලක් වන්නා වූ ව්‍යාපෘතියක් පිළිබඳව විස්කම් නෙතට හමු වූයේ කටාන ප්‍රදේශයෙනි. ඒ ‘කටාන අප්සයිකල්’ ව්‍යාපෘතියයි. ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලය සහ වෙස්ටර්න් ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක් ලෙස මල්පල ගැන්වුණු මෙම ව්‍යාපෘතියෙන් සිදු වනුයේ, පොලිතින් සහ ප්ලාස්ටික් රීසයිකල් කිරීම සහ අප්සයිකල් කිරීම මඟින් නව නිර්මාණ කිරීමයි. පරිසරයට මිතුරකු ලෙසින් වන ඔවුන්ගේ ව්‍යාපෘතිය පිළිබඳව ආර්.එම්. ජයන්ත කුමාරසිරි මහතා විස්කම් වෙතට පැවසූයේ මෙලෙසිනි.”රී සයිකල් කරන්න බෑ කියන ද්‍රව්‍ය භාවිත කරලා නව නිර්මාණ කරන එක තමයි මේ ව්‍යාපෘතියේ මූලික අරමුණ. අපිට අවශ්‍ය ද්‍රව්‍ය ලැබෙන්නෙ ඒවා භාවිතා කරල ඉවත දාන මිනිස්සුන්ගෙන්ම තමයි. ඒ වගේම ආයතන, ප්‍රජා සමිති, පාසල්වලින් ද මේ ඉවත දමන පොලිතින් සහ ප්ලාස්ටික් එකතු කරලා ඉතා පිරිසුදුව පිළිවෙළකට මට ලබා දෙනවා. ඒ වගේ ආයතන සහ පුද්ගලයන් 1000කට වැඩි සංඛ්‍යාවක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි නිෂ්පාදනය කරන භාණ්ඩ අතර ප්‍රධාන තැනක් ගන්නේ ස්ටේසනරි අයිටම්. ඒ කියන්නේ නෝට්බුක්ස්, බොක්ස් ෆයිල්, ටිප් බෝඩ්ස් සහ ෆයිල් කවර් විදියට අපි නිෂ්පාදන කටයුතු කරනවා. ඒ වගේම ටේබල් මැට්ස්, කෝස්ටස් වගේ දේවල්, ඩස්බින්, කොරගේටඩ් බොක්සස්, පැලට් වගේ නිෂ්පාදන අපි කරනවා. ඊට අමතරව අපි අරමුණු කරගෙන ඉන්නවා සීලිං ශීට් වගේ දේවල් නිෂ්පාදනය කරන්න.”

අද වන විට ලංකාව පුරා ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට අරුතක් එක් කරමින් පරිසර හිතකාමී පිරිසුදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට මේ ‘කටාන අප්සයිකල්’ අගනා ව්‍යාපෘතියක් බව කුමාරසිරි මහතා පැවසූයේ නිහතමානී ආඩම්බරයක් සමඟිනි.

“අපේ ව්‍යාපෘතිය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට පැති කිහිපයකින්ම සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මුලින්ම පටන් අරගෙන තිබ්බෙ අපි කියලා කිව්වොත් නිවැරදියි. මොකද පරිසරයට ලොකුම තර්ජනයක් වෙලා තියන ප්‍රශ්නයකට තමයි අපි විසඳුමක් දීලා තියෙන්නෙ. ඒ කියන්නෙ භාවිත කරලා ඉවත දාන ටොපි කොළ, චොකලට් කොළ, බිස්කට් කොළ, කිරිපිටි පැකට් වගේ දේවල් පරිසරයට ලොකු තර්ජනයක්. අවුරුදු හත් අටසියයකටවත් දිරාපත් වෙන්නෙ නෑ. ඒ වගේම ඒක පිලිස්සුවත් විෂබීජ ගොඩක් පරිසරයට නිකුත් වෙනවා. ඉවක් බවක් නැතිව මුදාහරින පොලිතින් සහ ප්ලාස්ටික්වලින් පරිසරයට සිදු වන හානිය අවම කරලන්නට කටාන අප්සයිකල් ව්‍යාපෘතිය අත්වැලක් බව නොකිවමනාය. එය කුමාරසිරි මහතාට මෙන්ම අපට ද පැහැදිලි කරුණකි.

“අද ලෝකයටම තර්ජනයක් වෙලා තියෙන්නෙ පොලිතින් සහ ප්ලාස්ටික්. ලෝක නිෂ්පාදනයෙන්ම 3%ක් විතරයි අපි නැවත පරිභෝජනය කරන්නෙ. ඉතිරි එව්ව මහපොළොවටයි අතාරින්නෙ. සාගර සම්පත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා අපේ. මේවා විනාශ වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ පොලිතින්, ප්ලාස්ටික් ඉවක් බවක් නැතුව පරිසරයට අතහැරීම. ඉතින් ඒ නිසා මේ දේවල් කළමනාකරණය කරන්න ඕනි. කළමනාකරණය කරන්න නම් අපේ වගේ ව්‍යාපෘති ආරම්භ කරලා ඒවගෙන් නව නිෂ්පාදන කරන්න ඕනි. ඉතින් අපේ ව්‍යාපෘතිය පරිසර හිතකාමී වෙන්නෙ අපි මේ දේවල් එකතු කරලා පරිසරයෙන් ඉවත් කරන නිසා. ඒකෙදි ගහකොළට, සතා සිව්පාවට, පරිසරයට ලොකු සේවයක් වෙනවා. අද වෙද්දි ලෝක උෂ්ණත්වය වැඩි වෙලා කාලගුණ විපර්යාසයන් බවට පත්වෙලා. මේවා වැඩි වෙන්න හේතුව මිනිස්සුන්ගෙ ක්‍රියාකලාපයන්මයි. ක්ලීන් ශ්‍රී ලංකා වගේ ගොඩක් වැඩසටහන් ආවා පසුගිය රජයන් යටතේ. නමුත් ඒවගෙ අවසානය වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් හදවතින්ම ලංකාව ක්ලීන් කරනවා නම්, අපේ පරිසරය ඇත්තටම පිරිසුදු වෙන්න ඕන.

අපි පසුගිය 2024 වසරේ ටොෆි කොළ, චොකලට් කොළ ටොන් 1යි කිලෝ 600ක්, රෙදි වර්ග සහ ගෝණි වර්ග ටොන් 2යි කිලෝ 200ක් වගේම රීසයිකල් කළ හැකි පොලිතින් කිලෝ 980ක් පරිසරයෙන් අයින් කරලා තියනවා. එහිදී වර්ග කිලෝ මීටර් 3,375ක භූමි භාගයක් පුරා විසිරී යා හැකිව තිබුණු පොලිතින්, ප්ලාස්ටික් වර්ග අපි එකතු කරලා තියෙනවා ආයතනයක් විදියට. ඒ ප්‍රමාණය පිළිබඳ නිහතමානී සතුටක් ඇති වෙන්න හේතුව තමයි මේ භූමි ප්‍රමාණය ගත්තම එයට සාපේක්ෂව මිනිස් ජීවිතවලට, ජල උල්පත්වලට, මහ පොළොවට, පසට, වායුගෝලයට, මුහුදු ජීවීන්ට සහ සාගර පද්ධතියට වෙන්න තිබුණ බලපෑම අපි පරිසරයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ නිසා අපි පරිසර හිතකාමියි. හැමදාම මුළු ලෝකයම කුණු ට්‍රක්ස් 2,000ක් විතර සාගර ජලයට එකතු කරනවා. ඒවා ගංගා, ඇළදොළ, වැව් අමුණුවලට එකතු වෙනවා. ඉතින් හැම අවුරුද්දකම ටොන් මිලියන 19ත් 23ත් අතර ප්‍රමාණයක ප්ලාස්ටික් අනිවාර්යයෙන්ම මහ පොළොවට අතාරිනවා මුළු ලෝකයම. ඉතින් අපේ ව්‍යාපෘතියෙන් සුළු වශයෙන් හෝ මේ ප්‍රමාණය පරිසරයට එකතු වෙන එක නතර කරන්න ලැබීමම අපිට පරිසරයට කරන්න ලැබෙන ලොකු සේවයක්.”

කටාන අප්සයිකල් ව්‍යාපෘතියෙන් නිෂ්පාදනය කරන භාණ්ඩයන්ට දේශීය වශයෙන් අඩු ඉල්ලුමක් පැවතිය ද, විදේශීය වශයෙන් වැඩි ඉල්ලුමක් පවතී.

ඒ වගේම අපිට පුළුවන් විදේශීය රටවලින් ගෙන්වන භාණ්ඩ වෙනුවට මේවගේ නිෂ්පාදන අපේ වෙළෙඳපොළ තුළ හදන්න. ඒකෙන් අපේ ඩොලර් සංචිතය ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම අපේ රට තුළ අලුත් රැකියා අවස්ථාවන් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට මට දායකත්වය ලබාදෙන්න පුළුවන්. ඒ සඳහා රජයේ සහයෝගය ඕනි. තව කාරණයක් තමයි ඉවත දාන දේවල්වලින් ප්‍රයෝජන ගන්න උනන්දුවක් දක්වන පුද්ගලයන්ට ඉගෙනගන්න රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සෙන්ටර් එකක් ලංකාවෙ නෑ. ඒක ලොකු අඩුපාඩුවක්. මේ රටේ එවැනි ආයතන බිහිවෙන්න ඕනි. දැනට අපේ ආයතනයෙන් පුළුවන් විදියට ඒ දේ කරනවා.”

තක්ෂිලා උදයංගනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT