Tuesday, May 13, 2025
Home » දිරියෙන් නැගිටින ක්‍රමය මෙන්න

දිරියෙන් නැගිටින ක්‍රමය මෙන්න

by sachintha
February 25, 2025 1:46 am 0 comment

බසයක, දුම්රියක ගමන් ගන්නාවිට කඩල ගොටුවක්, වඩේ මල්ලක් කටගැස්මකට රැගෙන යාම පොදු රථයකට ගොඩවෙන බොහෝ දෙනාගේ සිරිතකි. එබැවින් ගිමන් විඩාව දුරු කරන්නටත්, අතරමඟදී දැනෙන කුසගින්නටත් පිළියමක් ලෙස පොදු ප්‍රවාහනය ආශ්‍රිත ජංගම වෙ‍ෙළඳාම මගීන් අතර කාලයක සිට වඩාත් ප්‍රචලිත වූවකි. දුර ගමන් යන බස් රථවල මගීන් ඇතුළු බොහෝ දෙනාට මෙම ජංගම වෙ‍ෙළඳාම නිසා වැඩි පහසුවක් සැලසෙන්නේ උණුවට ගෙනෙන බඩඉරිඟු, කඩල, වඩේ වැනි කෙටි ආහාර වර්ග මෙන්ම පලතුරු වර්ග, අච්චාරු සහ පානීය ජල බෝතල් පවා යනෙන මඟකදී, මගීන්ට මෙවැනි වෙළෙන්දන්ගෙන් මිලදී ගැනීමට හැකි වන නිසාය. ඔවුන් බසයේ හෝ දුම්රියේ ගමන් ගන්නා මගීන් වෙතටම පැමිණ අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ සුවපහසුව සලස්වයි. කෙසේ නමුත් අද බොහෝ දෙනාගේ අප්‍රසාදයට මෙවැනි වෙ‍ෙළඳුන් පත්ව සිටින්නේ ඔවුන් පොදු රථවල ගමන් ගන්නා මගීන්ට අපහසු වන පරිදි වෙ‍ෙළඳාමේ නියුක්ත වීම හා දැන් දැන් සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග ගෙනැවිත් පොදු ප්‍රවාහන රථවල අලෙවි කිරීම වැනි සාධක නිසාය. එම නිසා සාධාරණ සහ ගුණාත්මක නිෂ්පාදන පමණක් අලෙවි කරමින් ස්වශක්තියෙන් නැඟිටීමට උත්සාහ කරන නිෂ්පාදකයන්ට පවා විශාල අභියෝගයකට මුහුණදීමට සිදු ව ඇත්තේය.

අද වනවිට ජංගම වෙ‍ෙළඳාම ක්‍රමිකව වෙනස් කරමින් සහ පුළුල් වෙ‍ෙළඳ මාදිලියක් බවට පත්කර ගනිමින් බොහෝ ස්වයං ව්‍යාපාර සිදු කරන නිෂ්පාදකයන්, තමන්ගේ භාණ්ඩ අලෙවි කර ගැනීමට පොදු ප්‍රවාහනය උපයෝගී කරගන්නා ආකාරය දැකගත හැකිය. තමන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයා වෙතටම ගෙන යමින් සිදු කරන වෙ‍ෙළඳාම තුළ එතෙක් අභිමුඛ නොවූ පාරිභෝගික – නිෂ්පාදක සබඳතාවට නවමු අවස්ථාවන් නිර්මාණය කරනවාට නිසැකය. එමෙන්ම මෙම ජංගම වෙ‍ෙළඳාම නිසා නිෂ්පාදකයන්ට වඩාත් සක්‍රිය පාරිභෝගික ප්‍රතිචාර ලබා ගැනීමටත්, බිම් මට්ටමේ සිටම තමන්ගේ පාරිභෝගිකයාව අධ්‍යයනය කිරීමේ හැකියාවත්, තමන්ගේ නිෂ්පාදනයට සුදුසු වන නව ප්‍රවණතා වඩා හොඳින් හඳුනා ගැනීමටත් හැකිවනු ඇත. එලෙසින් ස්වයං ව්‍යාපාරිකයකු ලෙස තමන්ගේ ධෛර්යයෙන් වසර දාහතරක් පුරාවට ‘ලකී’ නමින් නිෂ්පාදන පෙළක් බස් රථවල යනෙන මගීන්ට හඳුන්වා දෙමින් ඔවුන් තමන්ගේ එදිනෙදා පාරිභෝගිකයන් බවට කරගැනීමට ජයවර්ධන විදානගමගේ ලක්ෂ්මන් මහතා සමත්ව සිටින්නේය.

2010 වසරේදී තනි පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් ලියාපදිංචි කරන ලද ඔහුගේ නිෂ්පාදන අතර තේ කුඩු, ගොරකා, ගම්මිරිස්, කුරුඳු, එනසාල්, කරාබුනැටි, වසාවාසි, අබ, උළුහාල්, කහ කුඩු, බෙලිමල්, රණවරා, පොල්පලා, කිතුල් පිටි, බාර්ලි, පස්පංගුව, තල් සූකිරි, පැණි කජු සහ ග්‍රීන් ටී වැනි සිරුරට හිතකර ඔසු සහ කුළුබඩු වර්ග 40ක් පමණ දිනපතා විකිණෙයි. ඕනෑම තරාතිරමක පාරිභෝගිකයකුට මිලදී ගතහැකි, ඉතාමත් සාධාරණ මුදලකට නිෂ්පාදන, පැකට් කර විකුණනයි.

බිනූ දිලාරා ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT