උණ හැදී රජයේ රෝහලකට ඇතුළත් කළ අවුරුදු එකයි මාස නවයක් වූ තම සිඟිති දියණිය රෝහලේ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් මරණයට පත්වූ බවත්, ඒ ගැන පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටු කර දෙන ලෙසත් ඉල්ලමින් මාතලේ ලග්ගල ප්‍රදේශයේ සෙබළ පියෙක් ජනපතිගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මෙවැනි වැරදීමකින් තවත් දරුවකුගේ ජීවිතයට මෙවන් ඉරණමක් අත්කර නොදීමට වගබලාගන්නා ලෙසත් ඉල්ලා සෙබළ සුරංග පුෂ්ප කුමාර මහතා සිය ඉල්ලීම පාර්ලිමේන්තුවට, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට, විෂය භාර ඇමැතිවරයාට සහ මාතලේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කර ඇත.
මාතලේ, ලග්ගල, හත්තොටඅමුණ, කන්දෙපිටවල, ගම්මානයේ පදිංචි සුරංග පුෂ්ප කුමාර මහතා සහ ඔහුගේ බිරිය ඩබ්ලිව්.ජී. කුමුදුනි රේණුකා රත්නායක දෙපළ මාතලේ ලග්ගල ප්‍රාදේශීය රෝහලේ පරිපාලනයට එරෙහිව මෙසේ පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු එකයි මාස නවයක් වූ අමීෂා ගිම්හානි දියණියයි.
මරණයට පත් තම දියණිය පසුගියදා (15) උදෑසන උණ සහ වමනය හේතුවෙන් ලග්ගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවත් එදින සිට දින දෙක හමාරකට අධික කාලයක් මිශ්‍ර වාට්ටුවක තබාගෙන නිසි ලෙස අවධානයක් යොමු නොකර රඳවාගෙන සිටි බවත් රේණුකා රත්නායක මහත්මිය පවසන්නීය. තම දියණිය ආහාර නොගෙන මලානිකව හඬා වැටෙමින් සිටින බවත් ඇගේ අසනීපය උග්‍ර බවට හැරී ඇති බවත් තමා රෝහලේ වෛද්‍ය නිලධාරීනියට දැනුම් දුන්නද ඔවුන් ඒ සඳහා නිසි අවධානයක් යොමු නොකළ බවට ඇය චෝදනා කරන්නීය.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්ත ද රෝගීන් බැලීමට වෛද්‍ය නිලධාරිනිය වාට්ටුවට නොපැමිණි බැවින් තමන් දරුවා රැගෙන ගොස් බාහිර රෝගී අංශයට පැමිණ වෛද්‍යවරයකුට පෙන්නූ බවත් ඇය සඳහන් කළාය. පසුව දින දෙකහමාරකට පසු ලග්ගල රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට තමන් කළ ඉල්ලීමකට අනුව නැවත පරීක්ෂා කිරීමේදී දියණියට අසාධ්‍ය බව පවසා දඹුල්ල රෝහලට මාරුකර යැවූ බවත් දඹුල්ල මූලික රෝහලේ දිනක් ප්‍රතිකාර කර දියණිය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පවසා අනුරාධපුර රෝහලට මාරුකර යැවුණු අතර එහිදී තම දියණිය මියගිය බවත් ඇය සඳහන් කරන්නීය. අධිකරණ වෛද්‍ය නිලධාරීයා විසින් මේ මරණයට හේතුව ලබා නොදී සිරුරේ කොටස් පරීක්ෂණවලට යොමු කර තිබෙන බවට මරණයට පත් දියණියගේ මවුපියෝ චෝදනා කරති.
අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තම දියණියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් බවත්, ඇයට විජලනය හා ආසාධිත තත්ත්වයක් නිරීක්ෂණය වූ බව පැහැදිලි කළ බවත් මවුපියෝ කියති.
ලග්ගල ප්‍රාදේශීය රෝහලෙන් තම දියණිය දඹුල්ල රෝහලට මාරු කර යවන අවස්ථාවේ මූලික ප්‍රතිකාර සටහන් පත්‍රිකා කිසිවක් යවා නැති බවට ද මවුපියෝ චෝදනා කරති.
මව පියා ලග්ගල පොලීසියට පැමිණිල්ලක් කරමින් තම දරුවාට සහ තමන්ට සිදුවූ මේ අසාධාරණය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මියගිය දැරියගේ සිද්ධියට මවුපියන් නගන චෝදනා ගැන ලග්ගල ප්‍රාදේශීය රෝහලෙන් කරුණු විමසීමට එහි ස්ථාන භාර වෛද්‍ය නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමට ප්‍රාදේශීය රෝහලේ පොදු දුරකතන අංකයට ඉකුත්දා (23) ඇමතුම් කීපයක් ලබා ගත් අතර, එහිදී රෝහලේ කාන්තාවක රාජ්‍ය සේවයට සුදුසු නොවන ආකාරයට ඔවුන්ගේ පෞද්ගලික දුරකතනයකට ලැබුණු ඇමතුමක් හා සමානව කතාකර කිසිවක් නොකියා දුරකතනය විසන්ධි කිරීම විශේෂත්වයකි.
පසුව අප ඒ රෝහලට ගොස් ස්ථාන භාර වෛද්‍ය නිලධාරිනී ජී. කාර්තිකා මහත්මියගෙන් මේ බව විමසීමේදී ඇය සහ තවත් වෛද්‍යවරියක පැමිණ ජනමාධ්‍යවේදීන් හඳුනා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා රජයෙන් නිකුත් කර ඇති ජනමාධ්‍යවේදී හැඳුනුම්පත ඉල්ලා සිටියාය. එහි අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු ඇය සඳහන් කළේ තමන්ට මේ සිද්ධිය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමට නීතියෙන් අවසර නැති බවයි. මේ දියණිය මිය යෑමේ සිද්ධිය මව සහ පියා නඟන චෝදනා සඳහා ජනාධිපතිවරයා ලබන 27 වැනිදා උදෑසන ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස තමන් වෙත දැන්වා ඇතැයි ඇය පැවසුවාය.
සීගිරිය විශේෂ