Sunday, May 11, 2025
Home » පොලිස් අණ නොතකා ගිය මෝටර් රියට පොලීසියෙන් වෙඩි

පොලිස් අණ නොතකා ගිය මෝටර් රියට පොලීසියෙන් වෙඩි

by sachintha
February 25, 2025 1:53 am 0 comment

තරුණ අඹුසැමි යුවළක් ලක්ෂ හයක කේරළ ගංජා සමඟ අත්අඩංගුවට

පොලිස් අණ නොතකා ආපස්සට ධාවනය කර පලායෑමට උත්සාහ දැරූ සුඛෝපභෝගී මෝටර් රථයට වෙඩි තබා නවතා පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා සහ මුදල් තොගයක් සමඟ තරුණ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව මාලබේ පොලීසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය ගැබිනියක් වන අතර, සැකකරුවන් වයස අවුරුදු 30ත් 33ත් අතර වයසේ පසුවන්නන් බවද පොලීසිය පවසයි.

සැකකාර යුවළ සමඟ කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 800ක් ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන මුදල් රුපියල් 16000ක් හා ගංජා ජාවාරමට යොදාගත් තරාදියක් සහ ප්‍රවාහනයට යොදාගත් සැප මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

හෝකන්දර විස්කම් මාවත අසලට කේරළ ගංජා තොගයක් රැගෙන සැප මෝටර් රථයක් පැමිණෙන බවට මාලබේ පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණි මෝටර් රථය නැවතීමට සංඥා කිරීමේදී එය වේගයෙන් ආපස්සට මීටර් 30ක් පමණ ධාවනය කර ඇතැයි පොලීසිය කියයි.

ඒ අවස්ථාවේදී දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා සිය රාජකාරි පිස්තෝල ගිනිඅවියෙන් මෝටර් රථයේ ඉදිරිපස වම්පස රෝදයට වෙඩි තබා ඇති අතර වාහනය අසල තිබූ විදුලි කණුවක ගැටී නතරවීමෙන් පසු නිලධාරින් වාහනය වටලා රියැදුරු අසුනේ සිටි පුද්ගලයා සහ යාබද අසුනේ සිටි කාන්තාව අත්අඩංගුවට ගෙන මෝටර් රථය පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ රියදුරු අසුන යට ඉටි බෑග් එකක දමා තිබූ කේරළ ගංජා ඔවුන් සන්තකයේ සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

අනතුරුව සැකකරුවන් පදිංචි දෙල්ගොඩ කඳුබොඩ නිවෙස පරීක්ෂා කිරීමේදී නි‍ෙවසේ ශීතකරණයේ බෑගයක සඟවා තිබූ තවත් කේරළ ගංජා කිලෝ 1ක් හා ජාවාරමට යොදාගත් තරාදියක් ද පොලිස් භාරයට ගෙන ඇත‍. මේ යුවළ කාලයක සිට දෙල්ගොඩ සිට පැමිණ කොළඹ සහ අවට ප්‍රදේශවලට ගංජා බෙදා හැර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT