Home » ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ

ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ

by sachintha
February 25, 2025 1:01 am 0 comment

දකුණේ හැදී වැඩී කොළඹ ජීවත් වුණත් ඓතිහාසික අනුරාධපුරය සහ අටමස්ථාන කෙරෙහි තමා තුළ ඇත්තේ විශේෂ ආදරයක් බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පෙරේදා (23) අනුරාධපුර විහාර භූමියේ සන්නිපාත ශාලාවේදී රැස්වුණු අවස්ථාවේදී ඇය මේ බව කීවාය.

නුවරකලාවිය ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති සාහිත්‍යසූරී ආචාර්ය පල්ලේගම හේමරතන මහනාහිමි, සියම් මහනිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමි, සියම් මහනිකායේ උතුරුමැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක ලංකාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නාහිමි, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අභයගිරි චෛත්‍යරාමාධිකාරී ආචාර්ය කල්ලංචිය රත්නසිරි නාහිමි, ථූපාරාම චෛත්‍යාධිකාරි පූජ්‍ය කහල්ලේ ඥානින්ද නාහිමිවරු මේ අවස්ථාවට සහභාගී වූහ.

ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සාමාජිකයන් පත් කිරීමේ බලධාරීත්වය අග්‍රාමාත්‍යවරිය සතු වන අතර අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඇය මේ සඳහා සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙයයි.

මෙහිදී ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ ආරම්භය, එහි නිලධාරි මණ්ඩලය සහ අරමුදල විසින් මේ දක්වා සිදුකර ඇති කාර්යයන් පිළිබඳව අරමුදලේ සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරන ලදි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ අටමස්ථාන ඇතුළුව පූජා භූමියන්හි ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සංවර්ධන අරමුදල සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කළාය.

තවද මෙහිදී අටමස්ථානාධිපති සාහිත්‍යසූරී ආචාර්ය පල්ලේගම හේමරතන මහ නාහිමියන් විසින් රන්වැට අරමුදල විසින් ප්‍රකාශිත Òජය ශ්‍රී මහ බෝ සිරිතÓ කෘතිය අග්‍රමාත්‍යවරිය වෙත පිරිනමන ලදි. එමෙන්ම එම කෘතියේ පිටපත් දහසක් පාසල් පුස්තකාල දහසක් වෙත ප්‍රදානය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පෙරේදා (23) ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි මහා සෑය වන්දනා කොට ආශීර්වාද ලබා ගත්තාය.

ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍යවරිය නුවරකලාවිය ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති සාහිත්‍යසූරී ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තාය. රුවන්වැලි මහා සෑ නායක ස්වාමීන් වහන්සේ වන සියම් මහ නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් ද බැහැදැක ආශීර්වාද ලබා ගත්තාය.

ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පළිහේන, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහත්වරුන් ඇතුළු ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සාමාජිකයෝ මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT