ශ්‍රී ලංකාව හා චීනය අතර දිගු කාලයක සිට පැවත එන මිත්‍රත්වය තවතවත් වර්ධනය කිරීම තම සංචාරයේ අරමුණ බව චීන රජයේ ජාත්‍යන්තර මහජන සම්බන්ධතා පිළිබඳ අමාත්‍ය pan yue මහතා, මල්වතු අස්ගිරි මහනාහිමියන් දෙනම හමුවේ පැවසුවේය.
චීනය සෑමවිටම ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා අතහිත දෙන බවත් අධ්‍යාපන, ආයෝජන හා වෙනත් ක්ෂේත්‍ර ඔස්සේ දෙරටේ සම්බන්ධය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.
චීන ඇමැතිවරයා අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.
නාහිමිවරුන් හමුවේ අදහස් දැක්වූ චීන අමාත්‍යවරයා බුද්ධාගම හා සංස්කෘතික ප්‍රවර්ධනය මෙන්ම ආර්ථික වර්ධනය සඳහා චීන රජය ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය දෙන බව පැවසුවේය.
මෙහිදී අදහස් පළ කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් මහායාන මෙන්ම ථෙරවාදී බුදුදහම යනු එකිනෙකට බැඳුණු ඉතා සුළු වෙනස්කම් සහිත ධර්මයක් බව සියලු දෙනා අවිවාදිතව පිළිගන්නා කරුණක් බවත් මෙම ආගම් දෙකේම ඇත්තේ යහපත් දහම පිළිබඳ ඉගැන්වීම බවත් කීහ.
අසේල කුරුළුවංශ