Tuesday, May 13, 2025
Home » මූලික අනුගතවීමේ පාඨමාලාව අවසන් කළ වෛද්‍ය අංශයේ නිලධාරීහු 12ක් පිටව යති

මූලික අනුගතවීමේ පාඨමාලාව අවසන් කළ වෛද්‍ය අංශයේ නිලධාරීහු 12ක් පිටව යති

by sachintha
February 25, 2025 1:44 am 0 comment

මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ වෛද්‍ය අංශයේ නිලධාරීහු 12ක් නාවික හා සාගරික විද්‍යා පීඨයේදී විසිර යති. නාවික හා සාගරික විද්‍යා පීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් මහතාගේ ප්‍රධානත්වයෙන් විසිර යෑමේ උත්සවය, පසුගියදා (22) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී පැවැත්විණි.

ඒ අනුව සාර්ථකව පුහුණුව අවසන් කළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 34 හා 35 වැනි බඳවා ගැනීම් සහ 2022 ඉඳුරාම බඳවා ගැනීමට අයත් වෛද්‍ය අංශයේ නිලධාරීන් දොළොස් දෙනකු (12) නාවික හා සාගරික විද්‍යා පීඨයේ සරඹ පිටියේදී සිය මවුපියන්, උපදේශකයන් සහ පුහුණු වන නිලධාරීන් ඉදිරියේ මෙලෙස අභිමානවත් අයුරින් විසිර යෑම සිදු කෙරිණි.

එහිදී මූලික අනුගතවීමේ පාඨමාලාවේ දක්‍ෂතම නිලධාරියාට හිමි කුසලානය වැඩබලන උප ලුතිනන් (වෛද්‍ය) විමුක්ති විජේසේකර හිමි කර ගැනීමට සමත්විය.

එහිදී අදහස් දැක්වූ නාවික හා සාගරික විද්‍යා පීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප්, විසිර යන නිලධාරීන් හට පළමුව සිය සුබපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, පුහුණුව සාර්ථකව සිදු කිරීම සඳහා කළ කැපවීම තුළින් වෘත්තීය නිපුණතාව වැඩිදියුණු කර ගනිමින් ඉදිරියේදී නාවික හමුදාවේ කාර්යභාරය කාර්යක්‍ෂමව සහ ඵලදායී ලෙස ඉටු කිරීමට අධිෂ්ඨානශීලීව කැපවීම නාවික හමුදාව අපේක්‍ෂා කරන බව අවධාරණය කරන ලදි. එමෙන්ම, මවුබිම වෙනුවෙන් සේවය කිරීම සඳහා සිය දරුවන් නාවික හමුදාවට බැඳීමට දිරිමත් කළ ඔවුන්ගේ මවුපියන් වෙත ද එහිදී සිය කෘතඥතාව පළ කර සිටීමට රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් විසින් කටයුතු කරන ලදි.

තවද මෙම විසිර යෑමේ පෙළපාළිය නාවික හමුදා සංගීත කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් වර්ණවත් වූ අතර, එම විසිර යෑමේ උත්සවය සඳහා නැඟෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම විසිර යන නිලධාරීන්ගේ මවුපියෝ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT