සෑම මැණික් ගලක්ම විකිණීමෙන් ලැබෙන සමස්ත ආදායම ජාතික ආදායමට එක් කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති FACE TO FACE – MEET THE MINISTER වැඩසටහනට සහභාගි වෙමිනි.
කොළඹින් බැහැරව ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දී නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මේ වැඩසටහන ක්‍රියාත්මක කරයි.
දහසකට ආසන්න මැණික් හා පතල් කර්මාන්තකරුවන් ඇතුළු අනෙකුත් කර්මාන්තවල යෙදෙන කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් රැසක් මේ වැඩසටහන සමඟ සම්බන්ධ වී ඔවුන්ට ඇති වී තිබූ විවිධ ගැටලුවලට ඇමැතිවරුන් ප්‍රමුඛ වගකිවයුතු නිලධාරීන් වෙතින් විසඳුම් ලබා ගන්නා ලදී.
දිස්ත්‍රික්කයේ සිටින කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමේ ප්‍රායෝගික යන්ත්‍රණයක් ලෙස සෑම දිස්ත්‍රික්කයකටම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කර්මාන්ත ප්‍රවර්ධන සභාවක් පිහිටුවීමට තීරණය විය.
එහිදී අදහස් දැක්වූ ඇමැති චතුරංග අබේසිංහ මහතා මෙලෙස පැවැසීය.
“වත්මන් රජය විසින් දේශීය කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු ඉතා හොඳින් හඳුනාගෙන තිබෙනවා. ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් එම ගැටලු විසඳීමට රජය කටයුතු කරමින් සිටිනවා. මීට පෙර රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධව පොදු අරමුණක් කරා කටයුතු කර නොතිබීම නිසා කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් රාජ්‍ය ආයතන මඟහැර කටයුතු කර තිබෙනවා.” මේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පද්මකුමාර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ. නිශාන්ත, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඒ. සුනීතා, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියාරච්චි මහත්ම මහත්මීන්, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු අනිකුත් නිලධාරීහු ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ව්‍යවසායකයෝ ද සහභාගි වූහ.
නෙරංජලා වික්‍රමසිංහ