Monday, May 12, 2025
Home » හිතුමතේ බුද්ධි නිලධාරීන් මාරු කිරීම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්

හිතුමතේ බුද්ධි නිලධාරීන් මාරු කිරීම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්

-හිටපු මන්ත්‍රී, ආචාර්ය සරත් වීරසේකර

by sachintha
February 25, 2025 1:51 am 0 comment

හිතුමතේ බුද්ධි අංශ නිලධාරීන් මාරු කරන්නේ නම් එය රටේ ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට විශාල තර්ජනයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙලෙස ද කීවේය.

,මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යය ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට පුළුවන් වාතාවරණයක් සැලසීමයි. එවැන්නක් කරන්න පුළුවන් නම් එම අමාත්‍යාංශයේ වගකීම ඉටු කළා වෙනවා. අද වන විට මේ රටේ ඝාතන රැල්ලක් නිර්මාණයවී තිබෙනවා. පාතාලයේ සාමාජිකයන් අතර ඝාතන සිදුවීම නොවෙයි ප්‍රශ්නය. එම වෙඩි ප්‍රහාරවලට ලක්ව අහිංසක දරුවන් මියයන තත්ත්වයක් නිර්මාණයවී තිබෙනවා. මේ රජය බලයට පැමිණි අවස්ථාවේ සිටම ආරක්ෂාව හෑල්ලුවට ලක්කළා. එය දියාරු කළා. මාර්ග බාධක ඉවත් කළා. ඇතැම් මාර්ග විවෘත කළා. ගැලරිය තෘප්තිමත් කරන්න එවැන්නක් සිදු කළා. මාර්ග බාධකයක් තිබෙන්නේ ක්ෂණිකව මාර්ගයක් වසන්න. එසේ නොමැතිව නිතරම මාර්ග වසා තබන්න නොවෙයි. අපරාධකරුවන්ට යන්න පුළුවන්. වාහන කොල්ල කන්න පුළුවන්. මාර්ග බාධක පැවතීමෙන් ඔවුන් අල්ලා ගන්න පුළුවන්. නමුත් මේ රජය පැමිණි පසුව අපරාධකාරයන්ට යම්කිසි විශ්වාසයක් ගොඩනැඟුණා. ජාතික ආරක්ෂාවට බුද්ධි අංශ ඉතාම වැදගත්. ප්‍රහාරයක් වළක්වන එක තමයි දක්ෂතාව.

බුද්ධි තොරතුරු ශක්තිමත්ව තිබිය යුතුයි. හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා මාරු කර තිබෙනවා. පළපුරුදු හය දෙනෙක් මේ රජය පැමිණි පසුව මාරු කර තිබෙනවා. බුද්ධි අංශ නිලධාරීන්ට පළපුරුද්ද, දැනුම සහ හැකියාව තිබෙන්න ඕනෙ. මේ සියල්ල සමඟ තමයි බුද්ධි නිලධාරියෙක් හදන්නේ. හිතුමතේ ඔවුන් මාරු කරන්නේ නම් බුද්ධි අංශ අකර්මණ්‍ය වෙනවා. එය ජාතික ආරක්ෂාවට හා මහජන ආරක්ෂාවට බලපානවා. ගණේමුල්ලේ සංජීව ගම්පහ අධිකරණ භූමියේදී මරා දමන බවට බුද්ධි තොරතුරක් ලැබුණා. ඒ නිසා තමයි කොළඹට මාරු කළේ. එසේ නම් කොළඹදී එය සිදුවන්නේ නැද්ද? එය ඉතාම විශාල වරදක් වෙනවා. ගම්පහ අධිකරණයේදී ඝාතනය කරන බවට බුද්ධි තොරතුරු තිබෙනවා නම් එය කොළඹදී සිදු වූ පසුව කවුද වගකියන්නේ.

අද මේ තර්ජනය තිබෙන්නේ ත්‍රස්තවාදයම නොවෙයි. අන්තවාදය තිබෙනවා. ආගමික අන්තවාදය තිබෙනවා. ජාතිවාදය තිබෙනවා. මේ සියල්ලම ජාතික ආරක්ෂාවට ඍජුව බලපානවා. යහපාලන රජය කාලයේ සංහිඳියාව නාමයෙන් ආරක්ෂක පියවර ගත්තේ නෑ. ඒ නිසාම තමයි පාස්කු දා ප්‍රහාරය එල්ල වුණේ. සංහිඳියා නාමයෙන් මුස්ලිම් ඡන්ද අහිමි වන නිසා ඒ සම්බන්ධයෙන් පියවර ගත්තේ නෑ. සංහිඳියාව මුලට දමා ජාතික ආරක්ෂාව නැති කළ නිසා තමයි 250 දෙනකු පමණ මිය ගියේ. අද වන විට ජාතිවාදය වපුරන්නේ කවුද? දේවානම්පියතිස්ස රජුගේ කාලයේ නිර්මාණය කළ තිස්ස විහාරය ඉදිරියට පැමිණ දෙමළ දේශපාලනඥයන් උද්ඝෝෂණය කරනවා පමණක් නොවෙයි පන්සල කඩා දමනවා කියනවා. ඒක ජාතිවාදය නොවෙයිද?,

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT