Home » ආණ්ඩුවට ජනතා විශ්වාසය වැඩි වෙයි

ආණ්ඩුවට ජනතා විශ්වාසය වැඩි වෙයි

-වෙරිටේ රිසර්ච් සමීක්ෂණයක් කියයි

by sachintha
February 25, 2025 3:21 am 0 comment

රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට බහුතරයකගේ අදහස වීමත් සමඟ වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ සියයට 62ක වැඩිම අගය මේ මාසයේදී වාර්තා වන බව වෙරිටේ රිසර්ච් කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

වෙරිටේ රිසර්ච් කරන ගැලප් ශෛලියේ Òරට හිතන හැටිÓ ජනමත විමසුමේ නවතම (2025 පෙබරවාරි) ප්‍රතිඵලවලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර 2024 වසරේ ජූලි මාසයේ එය සියයට 24ක් වූ බව ද මෙවර එය සියයට 62ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ද එම සමීක්ෂණය පෙන්වා දෙයි.

ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහනයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබෙන නමුත් ජනගහනයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් ‘රට හිතන හැටි’ 2025 පෙබරවාරි ප්‍රතිඵලවලින් සඳහන් කරයි. එය 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩු වන අතර, සමස්තයක් වශයෙන් ගත් විට ආණ්ඩුව වැඩ කරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත. තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතයද, 65%ක සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුවී තිබේ.

ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳ හොඳ අතට හැරෙමින් පවතින බවට 55%ක්ද නරක අතට හැරෙමින් පවතින බවට 14%ක ප්‍රතිශතයක් ද අනාවරණය වී ඇත. ආර්ථික තත්ත්වය ගත් විට හොඳ හෝ විශිෂ්ට යනුවෙන් සියයට 35ක් ද දුර්වල යයි සියයට 47ක්ද පෙන්නුම් කර ඇත.

‘රට හිතන හැටි’ ජනමත විමසුම වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය හා එක්ව සිදු කරන Syndicated Surveys නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදු කිරීම් වැඩසටහනේ කොටසක් වන අතර, Syndicated Surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලටද, අවස්ථාව හිමිවේ.

මෙම නවතම සමීක්ෂණය, බහු-අදියර සසම්භාවී ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද විවිධ කුටුම්බයන්හි වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,050 දෙනකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කරගනිමින් 2025 ජනවාරි 31 සිට 2025 පෙබරවාරි මස 5 දක්වා කාලය තුළ සිදු කර ඇත. සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැලසුම් කර ඇත්තේ, සියයට 95 විශ්වසනීය මට්ටමක් (confidence level) සහ උපරිම ආන්තික දෝශය (error margin)±3.0% මට්ටමක පැවතෙන පරිදි වන අතර, ජනමත විමසුම ක්‍රියාත්මක කිරීමේදී සිදුවන දෝෂයන් ආන්තික දෝෂය කෙරෙහි තවදුරටත් බලපෑම් ඇතිකළ හැකි බව ද එම සමීක්ෂණය මඟින් පෙන්වා දෙයි.

මහින්ද අලුත්ගෙදර, ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT