Home » මෙවර අය-වැයෙන් ජනතාවට පොරොන්දු වූ කිසිදු සහනයක් නැහැ

මෙවර අය-වැයෙන් ජනතාවට පොරොන්දු වූ කිසිදු සහනයක් නැහැ

-මන්ත්‍රී මුජිබර් රහුමාන්

by sachintha
February 25, 2025 1:50 am 0 comment

පොරොන්දු වූ කිසිදු සහනයක් ජනතාවට මෙවර අය-වැයෙන් දීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ සමඟි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (23) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“ජනතාව බලාපොරොත්තු වුණා, ජීවන බර අඩු කර ගැනීමට යම් සහනයක් ආණ්ඩුවෙන් දෙයි කියලා. ඒත් මෙවර අය-වැය යෝජනාවල මැතිවරණ කාලවලදී දුන් පොරොන්දු කිසිවක් ඇතුළත් වෙන්නේ නෑ. මැතිවරණ කාලයේදී ජනාධිපති පොරොන්දු වුණේ ජාතික ජන බලවේගයේ පළමු අය-වැයෙන් ජනතාවට සහන දෙනවා කියලයි. නමුත් පොරොන්දු වූ කිසිදු සහනයක් ජනතාවට දෙන්න නොහැකි වෙලා තිබෙනවා.

ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා සෞඛ්‍ය, පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා අය කරන වැට් බදු මුදල පළමු අය-වැයෙන් ඉවත් කරනවා කියලා. නමුත් කිසිදු භාණ්ඩයක වැට් බද්ද අය-වැයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නෑ. ආණ්ඩුව කියන පාලන මිලට වෙළෙඳපොළේ සහල් නෑ. බොහෝ ප්‍රදේශවල සහල් හිඟයක් තවම තියෙනවා. සහල්වලට ආණ්ඩුව පාලන මිලක් දැම්මත් ඒ මිලට වෙළෙඳසල්වලින් සහල් ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන අය-වැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුවේ වැටුප් වැඩි කිරීම ගැන සියලුම රාජ්‍ය සේවකයන් කණස්සල්ල, විරෝධය පළ කර තිබෙනවා.

ආණ්ඩුව නැවත වතාවක් රට ඇදගෙන යන්නේ රාජපක්ෂලාගේ ගෝත්‍රිකවාදී චින්තනයට. ඒ සලකුණු පෙනෙන්න තිබෙනවා. එය රටේ ඉදිරි ගමනට හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒවා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නෑ. රටේ වෙනසක් ඇති කර රාජ්‍ය ආයතන ශක්තිමත් කරන්න තමයි ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නේ.”

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT