Home » කුරුණෑගල-දඹුලු පාරේ බවුසර්වලින් ඉන්ධන අදින ජාවාරමක්

කුරුණෑගල-දඹුලු පාරේ බවුසර්වලින් ඉන්ධන අදින ජාවාරමක්

-රියැදුරොත් හවුල්

by sachintha
February 25, 2025 2:30 am 0 comment

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර සිට ගලේවෙල පොලිස් වසම දක්වාත්, දඹුල්ල, ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල සිට කන්තලේ දක්වාත්, ස්ථාන 15ක දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථවලින් සහ රජයේ වාහනවලින් ඉන්ධන පිටතට ලබා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජනතාව පවසති.

කාලයක සිට මෙම මහා පරිමාණ ඉන්ධන ජාවාරම ක්‍රියාත්මක වුවද ඒවා වැළැක්වීම සඳහා නීති මාර්ග නොමැති බව පොලීසිය පවසයි. මැල්සිරිපුර සිට ගලේවෙල දක්වා වූ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ඉතා සූක්ෂ්මව ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් ප්‍රධාන මාර්ගයට නොපෙනෙන ලෙස සැඟවීම සඳහා ස්ථාන සූදානම් කොට තිබේ.

එම රහසිගත ස්ථානයට බවුසර් රථයක් නවත්වනවාත් සමඟම කිහිපදෙනෙකු පැමිණ පිරවුම් හල්වලට රැගෙන යන ඉන්ධන බට මඟින් පිටතට ලබාගෙන බවුසර් රියැදුරන්ට මුදල් ලබාදීම සිදු කරති.

පිටතට ගන්නා ඉන්ධන තොග ගබඩාකොට වෙනත් වාහනවලට අලෙවි කිරීම සිදුකරති.

එමෙන්ම මේ ආකාරයටම රජයේ වාහනවල රියැදුරන්ද මේ ස්ථානවලටම දමා වාහනවල ටැංකියේ ඇති ඉන්ධන පිටතට ලබාගෙන ඒවාද මෙම ස්ථානයට අලෙවි කිරීම සිදු කෙරෙන බව ද ජනතාව පෙන්වා දෙති.

දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද ඉතා ප්‍රසිද්ධියේ කරනු ලබන මෙම ක්‍රියාවලිය පිළිබඳව කිසිදු අයෙකුගේ අවදානමක් යොමු නොවන බව ද ඔහුන් පවසයි.

බවුසර් මාර්ගය හරහා පැමිණ ඔවුන්ගේ තිප්පොළට දමා පිටත් වන තුරු මහමඟ තැ‍රැව්කරුවන් කිහිප දෙනෙකු ජංගම දුරකතන තබාගෙන රැඳී සිටින බව ජනතාව පෙන්වා දෙති.

පෙරේදා (23) රාත්‍රියේ මැල්සිරිපුර පොලිස් බලප්‍රදේශයේ ස්ථාන කිහිපයක මේ ආකාරයෙන් බවුසර් රථවලින් ඉන්ධන හොර රහසේ ලබා ගන්නා ස්ථානයක් පිළිබඳව මැල්සිරිපුර පොලීසිය දැනුම්වත් කොට ඇත්තේ ප්‍රදේශවාසීන් විසිනි. පොලීසිය එම ස්ථානයට ගමන් කරන විට තැරව්කරුවන්ගේ දැනුම්වත් කිරීම මත බවුසරය පිටත්ව ගොස් තිබුණද පිටතට ගත් ඉන්ධන විශාල ප්‍රමාණයක් බැරල් කිහිපයක ගබඩා කර තිබෙන අයුරු ද ඉන්ධන එළියට ගැනීම සඳහා උපයෝගි කරගන්නා බැරල් බාල්දි සහ පුනීල සියල්ල එම ගබඩාවේ තිබෙනු පොලීසියට දැක ගැනීමට හැකිව තිබේ.

එහෙත් ඉන්ධන ගබඩා කර ගැනීම ළඟ තබා ගැනීම වරදක් නොවන නිසා මෙම තැ‍රැව්කරුවන් සහ ජාවාරම්කරුවන් පොලීසියට ද නීතිය පෙන්වා දෙමින් පවසා සිටින්නේ බවුසර් රථයකින් බාන අවස්ථාවේදී හෝ අලෙවි කරන අවස්ථාවේදී හැර අත්අඩංගුවට ගැනීමට පොලීසියට හෝ වෙනත් අයකුට හැකියාවක් නැති බවයි.

ජාවාරම්කරුවන් එළියට ගෙන තිබූ ඉන්ධන තොග එම ස්ථානයේම දමා නැවත පොලීසියට පිටත්ව යෑමට පොලීසියට සිදුවීම කනගාටුදායක තත්ත්වයකි. මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරවන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

සිගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT