ගම්පොළ සුපිරි වෙළෙඳසලකින් සොයා ගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්ෂ 80කට වඩා වැඩි වටිනා කමින් යුත් සුපිරි ආහාර වර්ග ගණනාවක් ගම්පොළ මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මියගේ නියෝගට අනුව විනාශ කරනු ලැබීය.
ගම්පොළ නගර සභා සෞඛ්‍ය අංශය හා මහනුවර සෞඛ්‍ය අංශ සමඟින් 2023 වසරේදී ගම්පොළ නගරයේ සිදු කළ වෙළෙඳසල් පරීක්ෂාවක දී නගරයේ ඇති මහා පරිමාණ සුපිරි වෙළෙඳසකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම විශාල ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය සොයා ගනු ලැබීය.
එහිදී සෞඛ්‍ය අංශ මඟින් මෙම වෙළෙඳසල් හිමියාට විරුද්ධව චෝදනා හතරක් යටතේ ගම්පොළ අධිකරණයේ නඩු පවරණු ලැබීය.
කල් ඉකුත් වූ ආහාර විකිණීම, ප්‍රදර්ශනය කිරීම, ගබඩා කිරීම, නියමිත උෂ්ණත්වයේ ගබඩා නොකිරීම, සනීප ආරක්ෂාවට අහිතකර තත්ත්වය යටතේ පවත්වාගෙන යාම ආදී චෝදනාවලින් නියමිත උෂ්ණත්වයේ ගබඩා නොකිරීම යන චෝදනාව හැර අනෙකුත් චෝදනාවලට වරද පිළිගැනීම නිසා එම වසරේදී මොහුට රුපියල් විසිතුන් දහසක දඩයක් නියම විය.
ඒ අනුව එයට අදාළ ආහාර ද්‍රව්‍යද ප්‍රමාණය එම වසරේදීම විනාශ කළ අතර වරද නොපිළිගත් චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වුවද ඒ සඳහා මොහු වරදකරු වූයේ මෙම වසරේදීය.
එම වරද පිළිගැනීම සමඟ මහේස්ත්‍රාත්වරිය විසින් මොහුට රුපියල් දස දහසක දඩයක් නියම කරනු ලැබීය.
අධිකරණ රෙජිස්ට්‍රාර්වරියගේ අධීක්ෂණය යටතේ මෙයට අදාළව තිබූ චීස්, බටර්, චොකලට් ඇතුළු නියමිත උෂ්ණත්වයේ තැබිය යුතු විශාල ආහාර ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් එම වෙළෙඳසලේ සිට අධිකරණ භූමිය වෙත රැගෙන විත් මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ ඒවා මෙසේ විනාශ කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ගම්පළ අධිකරණයේ රෙජිස්ටාර් පී.කේ.ජී. පුෂ්පලතා, සංවර්ධන නිලධාරී ප්‍රසන්න ප්‍රිය දර්ශන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ලක්මාල් සිල්වා, මුදිත අමරසේකර, නිමන්ත පෙරේරා හා නලින් උඩුගම යන නිලධාරිහු සහභාගි වී සිටියහ.
ගම්පොළ සමූහ – සුරංග දිල්හාන්