Home » බුලත් වෙළෙන්දියගේ රන් බඩු සොරකම් කළැයි පිය පුතු දෙපළට ඇප

බුලත් වෙළෙන්දියගේ රන් බඩු සොරකම් කළැයි පිය පුතු දෙපළට ඇප

by sachintha
February 25, 2025 1:45 am 0 comment

බුලත් විට වෙළෙන්ඳියක සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුතු රන් ආභරණ හා මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හාලිඇළ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහැරුණේ ලුණුගල, මඩොල්සීම පරණ තේ කම්හල කොටසේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ පුත්‍රයා වන එම ලිපිනයේම පදිංචි 24 හැවිරිදි අයෙකි.

කාත් කවුරුත් නොමැති 65 හැවිරිදි අවිවාහක කාන්තාවක් වන අදාළ රන් බඩු හිමිකාරිය හාලිඇළ නගරයේ කැවවල මාර්ගය ආරම්භක ස්ථානයේ ප්‍රධාන මාර්ගය අද්දර කුඩා බුලත් විට කඩයක් පවත්වාගෙන යමින් එම ස්ථානයේම හු‍ෙදකලාව ජීවත් වන කාන්තාවකී. ඇයගෙන් බුලත් ගැනීමට වරින් වර පැමිණ ඇය හා හිතවත්කමක් ගොඩනඟාගෙන ඇති ප්‍රධාන සැකකරු ඇයට නිවෙසක් ඉදිකර ගැනීමට ඉඩමක් සොයාදෙන බව පවසමින් තව දුරටත් හිතවත්කම වර්ධනය කරගෙන ඇත. දින කීපයක්ම එම ඉඩම පිළිබඳව දුරකතනයෙන් කතා කරමින් ඇගේ විශ්වාසය දිනාගෙන ඇතැයිද පැවසේ. එම විශ්වාසය මත ඔහු එම කාන්තාවගේ බුලත් කඩය තුළටද යාමට හුරුවී ඇති අතර ඉකුත් දිනෙක ඔහු විසින් කඩය තුළ තිබූ රන් මාලයක්, රන් පෙන්ඩනයක්, රන් කරාඹු යුගල දෙකක් හා රුපියල් 25,000ක මුදලක්ද සහිත තම අත් බෑගය සොරාගෙන ගොස් ඇතැයි අදාළ කාන්තාව විසින් පොලීසියට පැමිණිලි කොට තිබිණි.

ඒ අනුව සැකකරුගේ දුරකතන අංකය මඟින් සැකකරු සොයාගෙන අත්අඩංගුවට ගත් පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සිය පුත්‍රයාගේ ජාතික හැඳුනුම්පත යොදාගෙන ඔහු ලවා අදාළ රන් භාණ්ඩ පස්සර නගරයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කර රුපියල් 2,22,000ක මුදලක් ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇත. ඒ අනුව සොරකම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත දෙවන සැකකරුද අත්අඩංගුවට ගෙන තිබිණි.

හාලිඇළ සමූහ ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT