දකුණේ වෙස් මුහුණු කලා ශිල්පීන් හා රූකඩ ශිල්පීන් වෙස් මුහුණු කැපීමට ගන්නා කදුරු දැව නොමැතිවීමෙන් ඔවුන්ගේ රැකියා මහත්සේ අනතුරට පත්ව ඇති බව පවසති.
මේ වන විට කදුරු දැව සොයාගැනීමට ඉතාමත් අපහසු බවත් තිබෙන කදුරු ලීවලටද අධික මිලක් ගෙවීමට සිදුවීමෙන් වෙස් මුහුණු ඇතුළු නිෂ්පාදන සඳහා අධික මිලක් නියම කිරීමට සිදුවීම නිසා ඒවා විදේශකයින් පවා මිලදී නොගන්නා තත්ත්වයට පත්ව ඇති බවත් වෙස් මුහුණු ශිල්පීහු පවසති.
“අපි ජීවත් වෙන්නේ වෙස් මුහුණු කපලා. අපේ දරු පවුල් නඩත්තු කරන්නේ දරුවන් පාසල් යවන්නෙ ඒ සියලුම කටයුතු කරන්නේ මේ රැකියාවෙන්.
දැනට අවුරුදු තිහක් පමණ මේ රැකියාව කරනවා. පසුගිය රජයෙන් උපකරණ පවා ලැබුණේ මේ කර්මාන්තය කරන අයට නෙවෙයි. මට අද දක්වා කිසිම දෙයක් ලැබුණේ නෑ. මට උපකරණ නෑ. මම අමාරුවෙන් තමයි වැඩ කරගන්නෙ. මට චේන් සෝ එකකුයි දඬු අඬුවකුයි නැතිව මම ලොකු උත්සාහයක් ගත්තා පසුගිය රජයෙන් එය ලබා ගන්න. ඒත් බැරි වුණා. වර්තමාන රජයෙන් හෝ අපේ ශිල්පීන්ට අනුග්‍රහයක් දක්වාවි කියල අපි බලාගෙන ඉන්නවා.” යැයි විහාරගොඩ ප්‍රදේශයේ වෙස් මුහුණු නිෂ්පාදකයෙකු වන මාදුවගේ ශාන්ත ද ෆොන්සේකා පැවසීය.
“ඇත්තෙන්ම අම්බලන්ගොඩ බලපිටිය කලා පුරවරයක්. මේ කලාකරුවන්ට සහන දිය යුතුයි. අපි ඒ කාලෙ මේ අයට සහන දෙන්න වැඩ පිළිවෙළ දියත් කළා. කොහොම උනත් මගේ අදහසක් තියෙනව කදුරු වගා ව්‍යාපෘතියක් පුද්ගලික මට්ටමින් කරන්න. අඩුම වශයෙන් පැළ 500ක් හෝ හිටවල මේ කලාකරුවන්ට නොමිලයේ දෙන්න අදහස් කරනවා” යැයි බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ගාමිණී යසරත්න මහතා පවසා සිටියේය.
ගාල්ල දිස්ත්‍රික් සංචාරක -ධර්‍මදාස සිරිවර්‍ධන