Sunday, May 11, 2025
Home » ක්‍රීඩා පනත කඩිනමින් පාර්ලි‍මේන්තුවට හිටපු ඇමැති හරීන් ඉදිරිපත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමත වෙලා නෑ
අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නෑ

ක්‍රීඩා පනත කඩිනමින් පාර්ලි‍මේන්තුවට හිටපු ඇමැති හරීන් ඉදිරිපත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමත වෙලා නෑ

- ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ

by sachintha
February 25, 2025 1:52 am 0 comment

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ක්‍රීඩා මාධ්‍ය ප්‍රධානීන් අමතමින්. ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා ද සිටී.

ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ පරිදි ක්‍රීඩා පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය පරිසරය සකස් කරන බව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. තමන්ට හෝ නියෝජ්‍ය ඇමැතිවරුන්ට පෞද්ගලික න්‍යාය පත්‍ර නැති බවත්, ක්‍රීඩා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ තමන්ගේ නෑ හිතවතුන් කිසිවකු නැති බවත් ක්‍රීඩා ඇමැතිවරයා අවධාරණය කළේය.

ක්‍රීඩා ඇමැතිවරයාවරයා මේ බව සඳහන් කළේ කොළඹ රීඩ් මාවතේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ ක්‍රීඩා කර්තෘවරුන් හමුවූ අවස්ථා‍වේදී කරුණු පැහැදිලි කරමිණි.

“ක්‍රීඩා පනත අපි හදලා ඉවරයි. ක්‍රීඩා පනත හදන එක අපට අලුත් අදහසක් නොවෙයි. ක්‍රීඩා පනත සංශෝධනය කිරීම අපේ මූලික ප්‍රතිපත්තියක්. ජාතික ක්‍රීඩා සභාවේ සහයෝගය මත ඒ සියලු නීති සකස් වෙනවා. පසුගිය ආණ්ඩුවල ක්‍රීඩා ඇමැතිවරු දුන් පොරොන්දු මෙන් ක්‍රීඩා පනත සංශෝධනය වචනයට සීමා වන්නේ නෑ. ක්‍රීඩාව පණගන්වන්න තියෙන හොඳම අවස්ථාව තමයි ක්‍රීඩා පනත යුගයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීම. පසුගිය රජයේ හිටපු ඇමැති හරීන් ඉදිරිපත් කළ ක්‍රීඩා රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමත වෙලා නෑ. සියලු ගැසට් පාර්ලිමේන්තු‍වේ සම්මත කරන්නේ නිසි අධ්‍යයනයකින් පසුවයි” ඇමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා එකක් දෙකක් හැර ක්‍රීඩාව ඇත්තේ සංගම‍යේ පාලනයෙන් පිටත බව ඇමැතිවරයා සිහිපත් කළේය.

“නෙට්බෝල්, රගර්, පාපැදි හා මෝටර් රථ ක්‍රීඩාවලට නඩු පිට නඩු වැටිලා. ක්‍රීඩා සංගම් තහනම් කොට ක්‍රීඩාව කරගෙන යන්න බෑ. ඒ ප්‍රශ්න නිරාකරණය කළ යුතුයි. අපේ අරමුණ වුණේ සංගම්වල ප්‍රශ්න විසඳා ඔවුන්ට ස්වාධීනව කටයුතු කරගෙන යෑම වෙනුවෙන් අවස්ථාව ලබා දීමයි. ඒත් අපට එක දෙයක් කියා පිටත වෙනත් ක්‍රියාමාර්ගවලට ඇතැම් පිරිස් පෙලඹෙනවා. ඇතැම් අයට ක්‍රීඩාව වැදගත් නෑ. තනතුරු ගන්න පොරකනවා. ක්‍රීඩකයින් හා ක්‍රීඩා සංගම් ජාතික සම්පත් බැවින් ඒවා ආරක්ෂා කිරීම සැමගේ යුතුකමයි. සභාපතිට හා ලේකම්ට අවශ්‍ය පරිදි වැඩ කිරීම හොඳ නෑ. බොහෝ තැන්වල මාෆියාවක් ඇති බවට හඳුනාගෙන ඇති හෙයින් එය ඉවත් කිරීම අපේ වගකීමයි” ඇමැතිවරයා සඳහන් කළේය.

“ප්‍රධාන ක්‍රීඩා සංගම් 5ක මූල්‍ය ගනුදෙනු පිළිබඳ පූර්ණ කරුණු සොයා බැලීමක් සඳහා වෝහාරික විගණනයක් සිදු කිරීමට කටයුතු කරනවා. මොකද එක් සංගමයක් ඉලක්ක කරගෙන එවැනි විගණනයක් කරන්න අපි සූදානම් නෑ. අපට හැම කෙනෙක්ම එකයි. අපි කිසිම සංගමයක් වෙත ගිහින් සාකච්ඡා කරන්නේ නෑ. ඔවුන් අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කරනවා. කිසිම සංගමයකින් ක්‍රීඩා අරමුදලට මුදල් ගන්න බලා‍පොරොත්තුවක් නෑ. ඔවුන් හරි විදිහට කටයුතු කොට නිවැරදි මූල්‍ය පාලනයකින් ක්‍රීඩාව දියුණු කළ යුතුයි”

ඔලිම්පික් ලේකම්වරයාගේ තහනම නිසි ක්‍රමවේද අනුව සිදු කළ බවත්, පසුගියදා පාකිස්තානයේ ක්‍රීඩා ඇමැතිවරයා ඒ සම්බන්ධව සතුට පළ කළ බවත් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

මේ අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා ද එක්ව සිටියේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT