බ්‍රිතාන්‍යය දාර්ශනික ආර්. ජී. කොලින්වුඩ්ගේ “සෑම ඉතිහාසයක්ම අදහස්වල ඉතිහාසයකි” යන අදහස ඉතිහාසය රචනා කිරීමේදී අවධානය යොමු කිරීම වැදගත් වේ. විරෝධතාවකට සහභාගීවීම, චිත්‍රයක් ඇදීම ආදී ඕනෑම දෙයක් ඓතිහාසික සිතුවිල්ලක ප්‍රතිඵලයකි. අපගේ ක්‍රියාව එක්තරා ඓතිහාසික සිතීමක් විසින් මෙහෙය වේ.
හබමාස් දක්වන පරිදි නූතනත්වය යූරෝපීය අදහසකි. පුනරුද යුගයේ විද්‍යාව සහ තාක්ෂණයේ සිදුවූ ජයග්‍රහණවලින් පසු අතීතයට සාපේක්ෂව වර්තමානය ගැන නොසිතිය යුතුය යන අදහස යුරෝපයේ ව්‍යාප්ත විය.
ලංකාවේ දේශපාලනය යටත්විජිත නූතනත්වය සහ යටත්විජිත ජාතිකත්වය විසින් මෙහෙයවන්නකි. අතීතයට සාපේක්ෂව වර්තමානය පිළිබඳ සිතීමේ හැකියාව යටත්විජිත නූතනත්වය විසින් අපට අහිමිකර ඇත.
අතීතය දෙස බලමින් වර්තමානය ගැන සිතීමේ ප්‍රවණතාව අප අතර නැත. නූතනත්වයේ තාක්ෂණික වර්ධනය විසින් එම හැකියාව දියකර තිබේ.
“රාවණා” පිළිබඳ කතිකාව මතුවීම මේ ප්‍රවණතාවේ ප්‍රතිඵලයකි. වර්තමානය අතීතයෙන් බැහැර දෙයක් ලෙස සිතිය නොහැකිවිම ඒ සඳහා බලපා ඇත. සරල උදාහරණයක් මගින් මේ කරුණ පෙන්වාදිය හැකිය.
2008 වසරේ චීනයේ ඔලිම්පික් තරගාවලිය පැවැති අවස්ථාවේ බෙයිජිංහි ඉදිකළ ක්‍රීඩාංගණය අතීතයට හැරුණු ඉදිකිරීමක් නොවේ. යම් හෙයකින් එම අවස්ථාව මෙරටට ලැබුණේ නම් යෝජනා කෙරෙන ක්‍රීඩාංගණයේ ස්වරූපය ගැන සිතා බලන්න. එය අනිවාර්යෙන්ම අනුරාධපුර හෝ නුවර යුගයේ ගෘහනිර්මාණ සැලැස්මට පරිබාහිර යමක් නොවේ.
නූතනත්වය පිළිබඳ අදහස් දෙකක් යුරෝපීය කතිකාවේ දක්නට ඇත. අතීතයෙන් තොරව වර්තමානය දෙස බැලීම ඉන් එක් අදහසකි. රෝමාන්තික නූතනවාදය අනෙක යි. මෙහිදී සම්භාව්‍ය අතීතයෙන් පරිබාහිර වෙනස් අතීතයක් සොයා යෑම සිදුවේ.
එලෙස සොයාගත් අතීතය වෙනස් ආකාරයකට වර්තමානය තුළ පිහිටු වේ. පශ්චාත් යටත්විජිත නූතනත්වය සඳහා මෙම පිම්ම වැදගත්ය. යටත්විජිත නූතනත්වය තුළ සිරවීම නිසා අපට පශ්චාත් යටත්විජිත නූතනත්වයක් ගොඩනඟා ගැනීමට නොහැකිව තිබේ. එහෙත් යටත්විජිත නූතනත්වය අතික්‍රමණය කළ චරිතය කිහිපයක් ලාංකේය ඉතිහාසයේ හමුවේ.
නූතනත්වය ජාතිකත්වය තුළ සීමාවීම කෙරෙහි පුරාවිද්‍යාව .තීරණාත්මක බලපෑමක් කර ඇත. ඉතිහාසකරණයට ද ඉතිහාසයක් තිබේ.
පුරාවිද්‍යාත්මක සාධක වාර්ගික සාධක ලෙස ඉදිරිපත් කිරීම එච්.සී.පී. බෙල්, සෙනරත් පරණවිතාන, කුමාරතුංග මුනිදාස වැනි සම්භාවනීයන් තුළ දැකගත හැකි පොදු ලක්ෂණයකි.
මෙරට මෙගලතික සුසානභූමී ද්‍රවිඩ සම්භවයකට අයත් බව මහාචාර්ය පරණවිතාන ඔහුගේ “සිංහලයෝ” කෘතියේ දක්වා ඇත. මෙගලතික සුසාන භූමිවල පිහිටීම සිතියම්ගත කළ විට එය ඊලාම් සිතියම සමඟ සමපාත වේ. එල්ටීටිඊ සිතියම ඇඳීමට පුරාවිද්‍යාඥයන් දායකව ඇති බව මේ අනුව පෙනී යයි.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව න්‍යායාත්මක හා ක්‍රමවේද යන දෙයාකාරයටම ප්‍රශ්නකාරී විෂයකි. සෝබෝම්ගේ ප්‍රකාශය අපට අදාළ කරගත හොත් “ලොකෙන් උතුම් රට අප යයි සිතන්නන්ට අවැසි ඉනා බෙහෙත් ඉතිහාසඥයන් සපයා ඇත”
අවුරුදු 8,000කට පෙර යකඩ සොයාගත් ජාතිය අප බවට විශ්වාස කරන පුරාවිද්‍යාඥයන් මෙරට සිටී. මේ ආකාරයට රාවණා බිහිවීම, බුදුන් උපන් බිම, හින්දු අරාබි හෝඩියේ බින්දුව නිර්මාණය කිරීම යනාදී කී නොකී සෑම නිර්මාණයක්ම අප රට තුළ සිදුව තිබේත මේ මිත්‍යාවන් රුචියෙන් වැළඳගන්නෝ වෙති.
මෙම සිතුවිලි පශ්චාත් යටත්විජිත නූතනත්වයේ සහ යටත්විජිත ජාතිකත්වයේ ප්‍රතිඵලයන්ය. මෙම අදහස්වලින් ගැළවීමට විශාල අරගලයක් කළ යුතුවේ. ජනප්‍රිය මාධ්‍යකතිකාව තුළ එය සිදු නොවේ.
එබැවින් පශ්චාත් යටත්විජිත ලාංකිකත්වයෙන් බැහැරව සිතීම දුෂ්කර අභියෝගයකි. බොහෝ දෙනකුට මෙන්ම මටද එය කළ නොහැකිය.
එහෙත් වරින් වර මේ ක්ෂිතිජය තරණය කළ චරිත නැතුවාම නොවේ. ආනන්ද කුමාරස්වාමි එබන්දෙකි. ඔහුගේ “මධ්‍යකාලීන සිංහල කලා” කෘතිය ඇතැම් ජාතිකවාදීන් ඔවුන්ගේ අග්‍රකෘතියක් ලෙස දක්වයි. සැබෑ ලෙස ගත්විට එහි එන සිංහලයා බොහෝ දෙනකු සිත ආකාරයේ සිංහලයකු නොව දකුණු ඉන්දියාව සමඟ සමීප සබඳතාවක් පවත්වා ගෙන ගිය වෙනස් ආකාරයේ කෙනෙකි.
කුමාරස්වාමි, ඔහුගේ අධ්‍යයන ආරම්භ කරන කාලය වන විට බෙල් අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ කැණීම් අවසන් කර තිබිණි. කුමාරස්වාමීගේ අනුරාධපුරයේ විභූතිය ගැන උනන්දු නොවී ශිල්පකලා ගැන අවධානය යොමු කළේය.
මේ ආකාරයටම සරච්චන්ද්‍ර, සම්භාව්‍ය සංස්කෘත නාට්‍ය වෙනුවට නාඩගම් කෙරෙහි අවධානය යොමු කළේය. පතිරාජගේ “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටය ද වෙනස් ප්‍රවේශයන් ය. ඔබේසේකරගේ හා ගොම්බ්‍රිච්ගේ කෘති සම්භාව්‍ය ඉතිහාසයෙන් පරිබාහිර වෙනත් ඉතිහාසයක් ගැන අපට කියයි.
මාලිමාවේ මහ මැතිවරණ ජයග්‍රහණ සිතියම සමඟ ශ්‍රී ලංකාවේ සිතියම සියයට 99ක් සමපාත වේ. යටත්විජිත නූතනත්වය විසින් සහතික කළ කිසියම් ඓතිහාසිකත්වයක් (යමක් පිළිබඳ සිතීමක්) ඛණ්ඩනය වීමක් මෙම සිතියම ඒත්තු ගන්වයි.
නිදහසින් වසර 77ක් ගෙවී ඇති මේ මොහොත වෙනස් සමාජ පන්තියක් බලය හොබවන අවස්ථාවකි. එබැවින් මෙය ඒ පිළිබඳ සාකච්ඡාවකට සුදුසුම අවස්ථාවයි. පශ්චාත් යටත්විජිත නූතනයේ ස්වරූපය සෙවීමට මෙම සමාජ මොහොත අප පොළොඹවයි. අතීතය මතම යැපෙමින් ශ්‍රේෂ්ඨත්වය සෙවීම වෙනුවට වෙනස් චූල ඉතිහාසයන් ගවේෂණය කිරිමට උනන්දු කරවයි.
පන්ති අනන්‍යතා හරහා ගමන් කළ හැකි පොළොවට බැඳුණු නූතන චරිතය ගොඩනඟා ගැනීම වැදගත්ය. ඒ සඳහා පුරාවිද්‍යාඥයන් ජාතිකානුරාගි ඉනා බෙහෙත් නිපදවීමෙන් වැළකී නව නූතනත්වයක් පරිකල්පනය කළයුතුය. එම සංවාදය ඇරඹීමට වෙනස් නොවන “අපේ කමක්” පවතීය යන අදහස අත්හැරිය යුතුය.
✍ චන්දන ජයවීර ✍
(විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය දිලීප විතාරණගේ “බලය කේවල් කිරීම සහ ගොඩනැඟීම” කෘතිය එළිදැක්වීමේදී දැක්වූ අදහස් ඇසුරිනි)