Home » ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සහ කෘෂිකර්ම ඇමැති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සහ කෘෂිකර්ම ඇමැති අතර නිල හමුවක්

by sachintha
February 27, 2025 2:52 am 0 comment

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් Santosh Jha සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහත්වරුන් අතර හමුවක් පසුගියදා (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කරන ලද කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රයට අදාළ පියවර අමාත්‍යාංශ මට්ටමින් ඉදිරියට ගෙනයෑමට මේ සාකච්ඡාව පවත්වනු ලැබීය.

ඉන්දීය මහකොමසාරිස්වරයා ඉතා සාදරයෙන් පිළිගත් කෘෂිකර්ම ඇමැතිවරයා මේ ආණ්ඩුව බලයට පත්වීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ප්‍රථමයෙන්ම මැදිහත් වූ රට ලෙස ඉන්දියාවට සිය පෞද්ගලික ස්තූතිය පුද කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද ප්‍රකාශ කළේය.

“මීට වසර ගණනාවකට පෙර දේශීය අවශ්‍යතාව සඳහා ආහාර සපයා ගැනීමේ හැකියාව පැවතියා. නමුත් වර්තමානය වනවිට ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් විදෙස් රටවලින් ආනයනය කිරීමට සිදුව තිබෙනවා. මෙය 1977න් පසු අපේ රටේ ක්‍රියාත්මක වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා සිදුවූවක්. මෙරට පැවති තිස් අවුරුදු යුද්ධය නිසා උතුරු නැඟෙනහිර භූමිය කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත නොකිරීම මේ සඳහා හේතු වුණා. අද වනවිටත් උතුරු නැඟෙනහිර සුළු, මධ්‍ය සහ මහා පරිමාණ වාරිමාර්ග පද්ධති මුළුමනින්ම විනාශවී ඇති නිසා අතීතයේ මෙන් යාපනයේ මිරිස්, යාපනයේ මුරුංගා, අල, ලූනු ඇතුළු ආහාර ද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළට ලැබෙන්නේ නෑ. මේ අහිමි වූ කෘෂිකර්මාන්තය නැවත දේශීය ආර්ථිකයට උපයෝගී කරගැනීම කෙරෙහි නව රජයේ අවධානය යොමුවී තිබෙනවා.

අද වනවිටත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනවා. අවශ්‍ය ඕනෑම මොහොතක අත්‍යවශ්‍ය ආහාර දීමට ඉන්දියාව කටයුතු කිරීම ගැන ස්තූතිය පුද කරනවා. අත්‍යවශ්‍ය ආහාරවලට අමතරව බෙහෙත්, ආයුර්වේද නිෂ්පාදන ඇතුළු දේශීය වෙළෙඳපොළට අවශ්‍ය නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනවා. ඉන්දියාවට සාපේක්ෂව මෙරට කෘෂි නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ අගයක් ගන්නවා. මේ පිරිවැය අවම කරගැනීමට සහ නව තාක්ෂණය දේශීය කෘෂිකර්මාන්තයට උපයෝගී කරගැනීමට ඉන්දියාවේ සහාය අවශ්‍යයි. වන සත්ත්ව හානි නිසා අස්වැන්නෙන් 15%ක් පමණ විනාශ වෙනවා. වන සතුන් කළමනාකරණය කරගැනීමට තාක්ෂණික සහ උපදේශන සහාය අවශ්‍යයි.”

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් SANTOSH JHA මහතා

“ඉන්දියාව ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට උදවු කිරීමට සූදානම්. එය ඉන්දියාවේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් නොව කලාපීය සහයෝගිතාව මෙන්ම කලාපයක් ලෙස ඉදිරියට යෑමේ අවශ්‍යතාව මතයි. කෘෂිකර්ම ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි දේශීය පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය ඉන්දීය නව කිරි දෙනුන්, විශේෂ අවශ්‍යතාවක් සේ සලකා ශ්‍රී ලංකාවට දීම කෙරෙහි සාකච්ඡා කරනවා. ඉන්දියාව සමඟ සමීපවම කටයුතු කරන රටවල් කිහිපයකට පමණක් දැනට මේ සතුන් දී තිබෙනවා.

කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඉන්දියාව පස පරීක්ෂා කර පොහොර සහ රසායනික ද්‍රව්‍ය යෙදීම ප්‍රධාන වශයෙන් සිදු කළා. එය ගොවි ජනතාව අතර ප්‍රචලිත කිරීමෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් අස්වැන්න වැඩි කරගැනීමට මෙන්ම රසායනික පොහොර භාවිතය අවම කරගැනීමට හැකි වුණා. ඉන්දියාව ඩිජිටල්කරණය හරහා ගොවියා සහ රජය අතර පවතින සබඳතා වර්ධනය කරගැනීමට හැකි වුණා. එමඟින් රසායනික පොහොර සහනාධාර ඇතුළු සියලු කෘෂි කටයුතු කළමනාකරණය කරගැනීමට හැකි වුණා.

ඉන්දියාවට වර්තමානය වනවිට සාගින්න තුරන් කිරීමට හැකිවූයේ මේ නව තාක්ෂණය භාවිතයෙන් කෘෂිකර්මාන්තය ඩිජිටල්කරණයට ලක් කළ නිසයි. සමුපකාර වැනි ක්‍රමවේදවලින් ඉන්දියාවේ ගොවි ජනතාව නව වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙහෙයවා ගතහැකි වූණා. ඇමැති ලාල්කාන්ත මහතාට ඉන්දියාවේ කෘෂිකර්ම හා පශු ක්ෂේත්‍රයේ අධ්‍යයනයක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කළා. එම ආරාධනාව පිළිගත් ඇමැතිවරයා සිය පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාවට යෑමට අපේක්ෂා කරනවා.”

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහු ද, අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු ද මේ අවස්ථාවට එක්වූහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT