සබරගමුව පළාතේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ප්‍රධානම පාසලක් වන ඇඹිලිපිටිය මහා විද්‍යාලය සිය 75 වැනි සංවත්සරය හෙට (28) දින අභිමානවත්ව සමරයි. සාමාරම්ක උත්සවය හෙට (28) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අනතුරුව ආදි සිසුන්ගේ සහ දූ දරුවන්ගේ සහභාගිත්වයෙන් ඇඹිලිපිටිය ළමා උද්‍යානයේ සිට පාසල දක්වා පා ගමනක් පැවැත්වේ. එදිනම ආහාර ප්‍රදර්ශනයක් සහ සංගීත ප්‍රසංගයක් ද පාසල් භූමියේදී පැවැත්වේ.
රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා උඩගම ග්‍රාමයේ දොන් හෙන්ද්‍රික් දිසානායක මහතාට අයත් ඉඩමක 1950 පෙබරවාරි මස 02 වැනිදා විදුහල ආරම්භ කරන ලදි. 1960 දශකයේ උඩවලව දකුණු ඇළ සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ නව ප්‍රබෝධයක් ඇතිවීමත් සමඟ මේ විදුහල මහ විදුහලක් බවට පත් විය. වත්මන් ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය මේ විදුහලෙහි ප්‍රාථමික අංශය ලෙස පැවති අතර, ර/ඇඹි/ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය සහ ර/ඇඹි/කැටගල්ආර මහා විද්‍යාලය ඇඹිලිපිටිය මහ විදුහල් මෑණියන්ගේ සම්පත්වලින් ආරම්භ කරන ලද පාසල් වේ.
ගුරුවරුන් 03 දෙනකුගෙන් සහ සිසුන් 23 දෙනකුගෙන් ඇරඹි මේ පාසලෙහි අද වන විට ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 97ක් සහ සිසුන් 2400කින් සමන්විත වේ. කේ. වී. එම්. එම්. කුමාරි මහත්මිය වත්මන් විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරයි. ජීව විද්‍යා, ගණිත, කලා, වාණිජ අංශවලින් මෙහි අධ්‍යයන කටයුතු සිදු කරයි. කලාපයේ සියලුම පාසල් සඳහා සේවය සපයන්නා වූ එකම දන්ත චිකිත්සාගාරය පිහිටා ඇත්තේ ද මෙම පාසල් භූමියේ ය. එමෙන්ම ප්‍රදේශයේ පාසල් 25ක් ආවරණය කෙරෙන්නා වූ උපදේශන මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ ද ඇඹිලිපිටිය මහ විදුහලයි.
අධ්‍යාපනික ජයග්‍රහණ, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ, ජාතික මට්ටමේ ජයග්‍රහණයන්ට හිමිකම් කියන පාසලක් ලෙස ඇඹිලිපිටිය මහ විදුහල දැක්විය හැකිය. එමෙන්ම මෙම පාසල දැයට තිළිණ කළ සුවිශේෂී දූපුතුන් රැසකි. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය කඩුවෙල හා සිංගප්පූරුව බෝධිරාජ පදනමේ නිර්මාතෘ ඕමල්පේ සෝභිත හිමි, අමෙරිකාවේ ඇපල් කම්පියුටර් සමාගමේ නව නිපැයුම් හා සැලසුම් අංශ ප්‍රධානි වී. ජී. චමින්ද, හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලලිත් සේපාල රත්නායක, හිටපු ගුවන් හමුදාපතිවරයකු වූ කපිල ජයම්පති, ජාතික රෝහලේ අක්ෂි ප්‍රධාන වෛද්‍ය සැල්වින්, වත්මන් සබරගමුව අධ්‍යාපන ලේකම් චාමර බමුණු ආරච්චි, හිටපු පුරපතිනි රෝසි සේනානායක හා සම්මානීය ලේඛක වරුණ පියංකර මහත්ම මහත්මීන් ඉන් කිහිප දෙනෙකි.
පාසලෙහි සංවර්ධනය සඳහා ආදිශිෂ්‍ය සංගමය සුවිශේෂී දායකත්වයක් සපයයි. ඉකුත් 18 වැනි දින 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ආදි ශිෂ්‍ය සංගමය විසින් තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා මුල්ගල තබන ලදි.
අපේක්ෂා දිල්මිණි විදානගමගේ