ග්‍රාමීය දිළිඳුභාවය දුරු කිරීම සඳහා කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කරගැනීම ඉලක්ක කොට ‘වැව්ගම් පුබුදුව’ ව්‍යාපෘතිය යටතේ මේ වනවිට වියළි කලාපයේ කාන්තාවන් සවිබලගැන්වීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතියි.
දේශගුණික විපර්යාසවලට අනුහුරු වීම සඳහා මේ ව්‍යාපෘතියෙන් කාන්තාවට දෙන දායකත්වය වැඩි කිරීම මෙහි අරමුණ වී තිබේ. හරිත දේශගුණ අරමුදලේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වයෙන්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ඒ යටතේ වියළි කලාපයේ එල්ලංගා පද්ධති මූලික කරගනිමින් වැව් පිළිසකර කරලීමේ ක්‍රියාන්විතයට අමතරව වියළි කලාපයේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
‘වැව්ගම් පුබුදුව’ ව්‍යාපෘතියෙන් වියළි කලාපීය කාන්තාවන් සවිබලගැන්වීම යටතේ වැඩසටහන් රාශියක් මේ වනවිටත් සිදු කරමින් තිබේ. පවතින දේශගුණ අර්බුද හමුවේ වියළි කලාපීය කාන්තාව දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තය සඳහා යොමු කිරීම අඛණ්ඩව සිදු කරන අතර, කෘෂිකර්මාන්තයට නොවන ජීවනෝපාය සංවර්ධනය මෙන්ම අගය එකතු කිරීමේ ක්‍රියාදාමය සඳහා ද මොවුන් යොමු කිරීම සිදු කරයි.
මේ ක්‍රියාන්විතයේදී සිදු කරන වැඩසටහන් අතර පානීය ජල ගැටලුව මූලික කරගෙන ඇත. එම කර්තව්‍යය සඳහා සිදු කරන වැඩසටහන් අතර තෝරාගත් එල්ලංගා පද්ධති තුළ අවදානම් කණ්ඩායම් සහිත ගෘහයන් ඉලක්ක කරගනිමින් ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කරයි.
එහිදී කාන්තා මූලික ගෘහයන් සහ වකුගඩු රෝගය හෝ ආබාධිත පුද්ගලයන් සහිත ගෘහයන් මූලික කරගනිමින් ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට වැසි ජල ටැංකි, පුහුණුව සහ දැනුම දී ජල ගැටලුව නිරාකරණය කර දීමත්, ජීවිකාව ගෙනයෑමට නිසි ආදායම් මාර්ගයක් ලැබීමට ගෙවතු වගා ක්‍රමය යටතේ පලතුරු පැළ ලබාදී මනා පුහුණුවක්, තාක්‍ෂණික දැනුම සහ උපකරණ දීමත් සිදු කෙරේ.
ඊට අමතරව ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාව මෙන්ම ආර්ථික මට්ටම ස්ථාවරත්වයට ගොඩනංවාලීමට දායකත්වය සපයයි. වියළි කලාපයේ පුත්තලම වැනි දිස්ත්‍රික්කවල ගම්මාන කේන්ද්‍ර කරගනිමින් කච්චිරාව, කුද්දෙටියාව, නාරවිල නමින් රුපියල් මිලියන 150ක පමණ වියදමකින් දිනකට ජල ලීටර 280,000ක් පිරිපහදු කළ හැකි විශාල පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ වූයේ මේ ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ද බලාපොරොත්තුවක් ඇති කරමිනි. එම පානීය ජල ව්‍යාපෘතියෙන් ජල සබඳතා 375ක් හරහා පානීය ජල අවශ්‍යතාව සපුරා දී ඇත. මෙවැනි ව්‍යාපෘති රැසක් වියළි කලාපය පුරා ආරම්භ කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ කළමනාකරණ ව්‍යාපෘතියේ (වැව්ගම් පුබුදුව), ව්‍යාපෘති අධ්‍යක්ෂ, ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජයසිරි මුණසිංහ