කල්පිටිය කන්දකුලිය ධීවර තොටුපළින් පෙරේදා (25) පස්වරුවේ ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ධීවරයෙකු අකුණක් වැදී මුහුදට වැටීමෙන් අතුරුදන්ව ඇතැයි කල්පිටිය පොලීසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ කල්පිටිය, කන්දකුලිය පදිංචි 41 හැවිරිදි ඇන්ටන් ලක්ෂ්මන් දිසානායක නම් දෙදරු පියෙකි.
මෙම ධීවරයා සමඟ තවත් ධීවරයින් දෙදෙනෙකු පෙරේදා (25) පස්වරුවේ ධීවර රැකියාව සඳහා ධීවර තොටුපළින් පිටත්ව ගොස් ඇත. එම ධීවරයන් දෙදෙනා පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ, වෙරළේ සිට කිලෝ මීටර 16ක් පමණ දුර දියඹ මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටිය දී ඇදහැලුණු වර්ෂාවත් සමඟ අකුණක් තම යාත්‍රාවට පතිත වූ බවයි. ඒ සමඟම අකුණ වැදුණු ධීවරයා මුහුදට වැටුණු බවයි.
අතුරුදන් වූ ධීවරයා සමඟ රැකියාව සඳහා පිටත්ව ගොස් නැවත පැමිණ ඇත්තේ කල්පිටිය කන්දකුලිය ඊච්චන්කාඩුව පදිංචි 47 හැවිරිදි අන්තෝනි ලක්ෂ්මන් ප්‍රනාන්දු සහ කල්පිටිය කන්දකුලිය පදිංචි 28 හැවිරිදි වර්ණකුලසූරිය සචින් නිමේෂ් රුක්ෂාන් නම් තරුණයෙකි.
ඔවුන් දෙදෙනා පෙරේදා (25) රාත්‍රියේ ගොඩබිමට පැමිණීමෙන් අනතුරුව ඊයේ (26) අලුයම කල්පිටිය පොලිසියේ පැමිණිල්ලක් සිදු කොට ඇත. අතුරුදන් ධීවරයා සොයා කල්පිටිය නාවුක හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කොට ඇත. කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා