නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව කන්දකුලියේ සිට ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි බූරුවන් හය දෙනකු ලොරි රථවල රියැදුරන් දෙදෙනාද සමඟින් අත්අඩංගුවට ගැනීමට ඊයේ (26) නොරෝච්චෝල පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් සමත්ව තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියැදුරන් දෙදෙනකු බව පොලීසිය පවසයි.
කලින් මෙම බූරුවන්ගේ වාසභූමිය පුත්තලම වූ නමුත් මේ වනවිට කල්පිටිය හා ඒ අවට ප්‍රදේශවල නිදහසේ සැරිසරමින් සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් දෙපාර්තමේන්තුවකට අයත් නොමැති සත්ත්ව කොට්ඨාසයක් වෙති.
මෙම බූරුවන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම්ගේ නිසි අවසරයකින් තොරව අදාළ ප්‍රදේශයේ සිට වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම නීති විරෝධී වන අතර ඒ සඳහා ප්‍රවාහනය කරන්නේ නම් අදාළ නීත්‍යනුකූල අවසර පත්‍රයක් ලබාගෙන තිබීම අනිවාර්ය කරුණක් වෙයි.
කෙසේ නමුත් ඇතැම් පිරිස් මෙම සතුන් පොල් ඉඩම්වල කුරුමිණියන් මර්දනයට යැයි පවසමින් අදාළ අවසර ලබා ගැනීමෙන් පසු රැගෙනයාම සිදුවෙන බව පොලීසිය පවසයි.
කෙසේ නමුත් දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් දිනාගත් ආකර්ෂණීය හා අහිංසක සත්ත්ව කොට්ඨාසයක් වන බූරුවා මෙලෙස හොර රහසේ ප්‍රවාහනය කිරීම හා බූරුවන් ඝාතනය කර ගව මස් සමඟ කළවම් කර රහසේ අලෙවි කිරීම අතීතයේ සිට මේ දක්වා සිදුවන බව පොලීසිය පවසයි.
එසේම මෙම සතුන් අහිගුණ්ඨික ජනතාව වෙත ලබාදීම සිදුව ඇති නමුත් ඒ සඳහා ද ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ ලබාගැනීම අනිවාර්ය කරුණකි.
ඊයේ (26) අලුයම කන්දකුලිය ප්‍රදේශයේ සිට හොර රහසේ මෙලෙස බූරුවන් ප්‍රවාහනය කරමින් ඇති බව කන්දකුලිය ගම්වාසීන්ට ලැබුණු තොරතුරක් මත කල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයා දැනුම්වත් කර නොරෝච්චෝල පොලීසියට දැනුම් දීමෙන් පසු නාරක්කල්ලිය ප්‍රදේශයේදී සැකකරුවන් සමඟ බූරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදි පවසා ඇත්තේ මෙම බූරුවන් බඩල්ගම ප්‍රදේශයේ පොල් ඉඩමකට රැගෙන යන බවයි.
නමුත් ඒ සඳහා කල්පිටිය ප්‍රදේශීය ලේකම්වරයාගේ නීත්‍යනුකූල අවසරයක් නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
පොලීසිය විසින් මෙම සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර එහිදී නීත්‍යනුකූල අවසරයක් නොමැතිවීම හා අදාළ කල්පිටිය අර්ධද්වීපයට අයත් මෙම සත්ත්වයන් වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑම, නීත්‍යනුකූල අවසරයකින් තොරව රැගෙන යෑම කළ නොහැකි බව පොලීසිය මඟින් අධිකරණයට කරුණු දැක්වීමට නියමිතව ඇත.
අත්අඩංගුවට ගත් බූරුවන් පොලිස් භාරයේ රඳවා අධිකරණ නියෝග ලබා ගැනීමෙන් පසු නැවත කන්දකුලිය ප්‍රදේශයට මුදා හැරීමට කටයුතු කරන බවද පොලීසිය පවසයි.
පුත්තලම අතිරේක
හිරාන් ප්‍රියංකර ජයසිංහ