Saturday, May 3, 2025
Home » මෝටර් රථයකින් ගංජා කිලෝ 247ක් ප්‍රවාහනය කරමින් සිටියදී මාට්ටු

මෝටර් රථයකින් ගංජා කිලෝ 247ක් ප්‍රවාහනය කරමින් සිටියදී මාට්ටු

by sachintha
February 27, 2025 2:58 am 0 comment

ගංජා කිලෝ 247 ග්‍රෑම් 946ක තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු පෙරේදා (25) හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පෙරේදා (25) රාත්‍රී කාලයේ හලාවත පොලිස් වසමේ මැරවල පාලම අසලදී හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු පදවාගෙන එන ලද මෝටර් රථයේ තිබී ගංජා කිලෝ 247 ග්‍රෑම් 946ක් පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන මෝටර් රථය පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන තිඹිල්ල, සංඝතට්ටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

මෙම ගංජා තොගය පාර්සල් 114 ක අසුරා මෝටර් රථයේ පිටුපස කොටසේ සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇති අතර මෝටර් රථය මැරවල ප්‍රදේශයේ සිට මුන්නේශ්වරම් ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

හලාවත මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT