කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ ප්‍රාසාංගික කලා ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධාන කෙරෙන ‘තා’ ප්‍රසංගය මාර්තු මස 05 වැනි දින ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. ලලිත කලා අධ්‍යයන අංශයේ නර්තන විෂය හදාරනු ලබන සියලුම විද්‍යාර්ථීන්ගේ නර්තන කුසලතා එළිදැක්වීමේ අවස්ථාවක් ලෙස ‘තා’ ප්‍රසංගය මුලින්ම කලඑළි දක්වා ඇත්තේ 2007 වර්ෂයේ දීය. එවකට ලලිත කලා අධ්‍යයනාංශයේ ඒකක ප්‍රධානී වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලංකා ද සිල්වා මෙණෙවියගේ උපදේශකත්වයෙන් කථිකාචාර්ය ඊශානි යශෝධා රංගනාත් ප්‍රමුඛ ආචාර්යවරුන්ගේ මූලිකත්වයෙන් මුල්ම ‘තා’ ප්‍රසංගය පවත්වා ඇත. ඉනික්බිතිව මේ දක්වා අධ්‍යයනාංශයේ ආචාර්යවරුන්ගේ සහ විද්‍යාර්ථීන්ගේ එකතුවෙන් ‘තා’ ප්‍රසංගය සාර්ථකව පැවැත්වෙයි.
ලලිත කලා අධ්‍යයන අංශයේ ප්‍රාසාංගික කලා විෂය ධාරාව යටතේ නර්තනය විෂය විශේෂවේදී හා සාමාන්‍යවේදී උපාධියක් වශයෙන් හදාරනු ලබන විද්‍යාර්ථීන් මෙම නිර්මාණාත්මක ක්‍රියාවලියේ ප්‍රධාන අභිවාහකයින්ය. ඔවුන් විසින් හදාරන ලද නර්තන විෂය ක්ෂේත්‍ර, අධ්‍යයන අංශයේ නර්තන විෂය උගන්වන ආචාර්යවරුන්ගේ දායකත්වයෙන් මෙම ප්‍රසංගයේ දී ගවේෂණශීලිව ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.
ප්‍රාසාංගික කලා විෂය ධාරාවේ මූලික අරමුණ වන්නේ සම්ප්‍රදායික නර්තන කලා ඥානයෙන් පිරිපුන්, එමෙන්ම නර්තන නිර්මාණකරණය හා දක්ෂ අභිවාහකයින්, පර්යේෂකයින් නර්තන ක්ෂේත්‍රයට දායාද කිරීමය. දක්ෂ නර්තන ශිල්පියෙක් ලෙස සමාජගත වීම නිර්මාණාත්මක ක්‍රියාවලියේ ප්‍රකට රංග වින්‍යාසකරුවන් සමාජගත වීමට ‘තා’ වේදිකාවේ දී විද්‍යාර්ථියකු ලබන අත්දැකීම මහඟුය.
දේශන ශාලාවේ දී විවිධ විෂය පථයන් පිළිබඳ ලබන දැනුම විභාග ඇගයීම් ක්‍රියාවලියේ දී ඇගයූ පමණින්ම එහි ඉෙගනුම් ඵලය පූර්ණ වශයෙන්ම ළඟා කරගත නොහැකිය. විද්‍යාර්ථීන් වේදිකාවට අනුගත කිරිමේ ක්‍රියාවලිය පූර්ණ වශයෙන්ම සාක්ෂාත් වනුයේ මෙවැනි ක්‍රියාවලීන් හරහාය. ‘තා’ ප්‍රසංගයේ මූලික අභිප්‍රාය වනුයේ ද නිර්මාණශීලී, ආචාරශීලී නර්තන පරපුරක් අනාගත නර්තන ක්ෂේත්‍රයට දායාද කිරීමය.
2025 වසරේ ‘තා’ ප්‍රසංගයේ ප්‍රධාන සංකල්පය වන්නේ Òඅපෘෂ්ඨ උරුමය යන්නයි’. නර්තන කලාව තුළ දී ඒ ඒ සම්ප්‍රදායෙහි ගවේෂණය කළ යුතු බොහෝ දෑ ඇත. ඒ අනුව මෙවර ‘තා’ ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ ද සෑම නර්තන නිර්මාණයක්ම ගවේෂණශීලීව, එකිනෙකට විවිධත්වයෙන් යුක්තව උඩරට, පහතරට, සබරගමු නර්තත සම්ප්‍රදායන්, ගැමි නර්තනාංගයන් සහ බෙර වාදනයන්ගේ සංකලනයක් ලෙස සෑම නර්තන නිර්මාණයක්ම නිර්මාණය කර තිබීමයි.
අධ්‍යයන අංශයේ සියලුම ආචාර්යවරුන්ගේ මඟ පෙන්වීම යටතේ ‘තා’ ප්‍රසංගයේ සියලු කටයුතු සංවිධානය කරනු ලබන්නේ විද්‍යාර්ථීන් විසිනි.
මෙවැනි ප්‍රසංග සංවිධානය කිරීම මඟින් විද්‍යාර්ථින්ට නර්තන නිර්මාණකරණය, ඉදිරිපත් කිරීම, අවස්ථා කළමනාකරණය (event management) , මුදල් පාලනය කිරීම (budget planning) මෙන්ම නායකත්වය, කණ්ඩායම් හැඟීම, ඉවසීම වැනි ගුණාංග වර්ධනය කර ගැනීමේ අවස්ථාව ලැබෙයි.
සම්ප්‍රදායික නර්තනය ආරක්ෂා වන ප්‍රධාන ධාරා දෙකක් ලෙස සම්ප්‍රදායික ශිල්පීන් හරහා සහ උසස් අධ්‍යාපන ආයතන තුළ නර්තනය ප්‍රධාන විෂය ධාරාවක් ලෙස හැදෑරීමට අවකාශය සලසා තිබීම දැක්විය හැකිය. මේ ප්‍රධාන ධාරාවන්ට අමතරව පාරම්පරිකව නර්තන සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යාමට කටයුතු කිරීම වැදගත් වේ.
නර්තන ශිල්පියෙකුට ඊට හොඳම තෝතැන්න වේදිකාවයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශය විසින් වාර්ෂිකව මෙවැනි ප්‍රසංග පැවැත්වීමෙන් අපේක්ෂා කරන්නේ ද නර්තන සම්ප්‍රදාය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමයි.
ශෂී ගමගේ