දකුණු ආසියාවේ විශාලතම ‘වැට් බදු’ වංචාව වන රුපියල් බිලියන 3.9ක වැට් බදු මුදල් වංචා කිරීම කළ ව්‍යපාරිකයන් තිදෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියම කළ මහාධිකරණ තීන්දුව අනුමත කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති අභියාචන පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ එම අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා බව දන්වා සිටියේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ශනිල් ගුණරත්න මහතා සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යෑමේ හැකියාවක් පෙත්සම්කරුට නොමැති බැවින් පෙත්සම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස විරෝධය පළ කරන බවය.
වැට් බදු වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ මෙම පෙත්සම්කරු ඇතුළු තිදෙනෙකුට අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් විභාගය 2023 වසරේ දෙසැම්බර් මස අවසන් වූ බවත්, එම පෙත්සම්වලට අදාළව 2023 දෙසැම්බර් මස 23 වැනිදා දෙන ලද තීන්දුව මඟින් මහාධිකරණය දෙන ලද තීන්දුව තහවුරු කළ බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
කෙසේ වුවද අදාළ නඩු තීන්දුව නැවත විමර්ශනය කරන ලෙස ඉල්ලා මෙම විත්තිකාර අභියාචකයන් විසින් 2024 වසරේ ජූලි මස අභියාචනාධිකරණයට නැවත පෙත්සමක් ගොනු කර ඇති අතර එම පෙත්සම් විභාගය මේ වන තෙක් අවසන් වී නැති බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එසේ තිබියදී 2023 වසරේ දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගොනුකර ඇති මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට ඒ මහතා කරුණු ඉදිරිපත් කළේය.
ඒ සම්බන්ධයෙන් තමන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන බැවින් මෙම පෙත්සම් කඩිනමින් ළඟම දිනයකදී කරුණු සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී පෙත්සම්කාර අභියාචක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සඳහන් කළේ මෙම සිද්ධියට සහ නඩුවට අදාළ නව ලේඛන කිහිපයක් සොයා ගැනීමට හැකි වූ බැවින් ඒ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කිරීම සඳහා අදාළ පෙත්සම් අභියාචනාධිකරණයට ගොනු කළ බවය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම් ලබන අප්‍රේල් මස පළමු වැනිදා කැඳවීමට නියම කළේය.
අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් අබයකෝන් යන මහත්ම මහත්මීන් නොමැති විනිසුරු මඬුල්ලක් හමුවේ ලැයිස්තුගත කරන ලෙසද නියම කෙරිණ.
රුපියල් බිලියන 3.9ක වැට් බදු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වූ ව්‍යාපාරිකයකු වන මොහොමඩ් කාමිල් කුතුබ්දීන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. දකුණු ආසියාවේ විශාලතම ‘වැට් බදු’ වංචාව බවට සැලකෙන 2002 වසරේ නොවැම්බර් මස 15 වැනිදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා අතර කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
එම නඩුවේ තීන්දුව 2014 වසරේ දී ලබා දුන් කොළඹ මහාධිකරණය මොහොමඩ් සුබයිර් අවාමි, මොහොමඩ් මවුජූල් අමීර් සහ මොහොමඩ් කාමිල් කුතුබ්දීන් යන විත්තිකරුවන් තුන්දෙනාට බරපතළ වැඩ සහිත වසර 20 බැගින් සිරදඬුවම් හා දඩ මුදල් ද නියම කර තිබුණි.
මහාධිකරණ නඩු විභාගය පැවති අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය මඟහැර පලා ගොස් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය පැවැත්වුණි.