වාද්දුව – මොල්ලිගොඩ ප්‍රාථමිකයේ 4 ශ්‍රේණියේ දරුවන්ට අකුරු කරමින් සිටියදී හදිසියේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් රෝහල්ගත කළ ගුරුවරිය වූ නිර්මා ජීවනී ගුරු මහත්මිය ජීවිතක්ෂයට පත්වූවාය. වාද්දුව – මොල්ලිගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ගුරු මණ්ඩලය සහ දරු දැරියෝ එම ශෝකී පුවත ඇසීමෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටිති. පාසලේ 4 වන ‘සඳු“ පන්තියේ පන්තිභාර ගුරුවරිය ලෙස සේවය කළ නිර්මා ගුරුතුමිය 44 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරිනියක ද වූවාය. ඉකුත් 24 වැනිදා පෙරවරු 10.00ට පමණ උදරයේ ඇති වූ ආබාධයක් උත්සන්න වීමෙන් ඇය රෝහල්ගත කිරීමට විදුහල්පතිවරයා ඉක්මනින් ගිලන් රථයක් ගෙන්වා ගෙන ඇති බවත් පසුව ගිලන් රථයේදී ඇයට අසාධ්‍ය වී ඇති බවත් වාර්තා වෙයි. පසුව ඇය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වාණිජ විද්‍යා උපාධිධාරිනියක වූ ඇය, වයස අවුරුදු 10ක දියණියකගේ මවකි.
නිර්මා ජීවනී ගුරු මහත්මිය ඉතා නිර්මාණශීලීව ඉගැන්වීම කළ ඉතා දක්ෂ, දරුවන් වෙනුවෙන් දැඩි වෙහෙසක් ගෙන සේවය කළ ගුරුවරියක් බවත් ඇයගේ වියෝව විදුහලට විශාල පාඩුවක් බවත් මොල්ලිගොඩ ප්‍රාථමිකයේ විදුහල්පති පාලිත හේවාමාන මහතා පැවසීය.ඇයගේ උපන් ගම වන ඉඳුරුව පොදු සුසාන භූමියේදී ඇයගේ අවසන් කටයුතු පෙරේදා (26 ) විශාල පිරිසකගේ සෝසුසුම් මැද සිදු කෙරිණි.