ශක්තිමත්ව තිබූ සමගි ජන බලවේගය දවසින් දවස පිරිහෙමින් තිබෙන බවත්, පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 50කට හිමිකම් කියූ සමගි ජන බලවේගයට මෙවර ලැබී තිබෙන්නේ ආසන 30ක් බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය සභාපති නවීන් දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ ‘එක්ව අරඹමු’ මැයෙන් මහනුවර පුෂ්පදාන සමිති ශාලාවේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය නියෝජිත හමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අද තිබෙන්නේ එදා තිබූ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. මහ දැවැන්ත ගාම්භීර දේශපාලන පක්ෂය අද කැඩිලා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තමයි අදත් ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කරන්නේ. රනිල් එදා දැම්ම අඩිපාරේ තමයි අනුර කුමාර දිසානායක ජනපතිවරයා ගමන් කරන්නේ. ශක්තිමත් විපක්ෂයක් අද නෑ. ඇත්තටම විපක්ෂය නිදි. රනිල් සජිත් දෙන්නටම අපි කියනවා, එකතු වෙන්න කියලා. ගාමිණී දිසානායකලා, ආර්. ප්‍රේමදාසලා එදා ජීවිත පරිත්‍යාග කළේ මේ පක්ෂය වෙනුවෙන්. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගොස් සමගි ජන බලවේගය ශක්තිමත්ව තිබුණා. නමුත් දැන් ඔවුන් දවසින් දවස පිරිහෙනවා. ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස දෙපාරක් ඉදිරිපත් වුණා. දෙපාරම පරාදයි. තුන්වැනි පාර ඉතාමත්ම අමාරු වෙනවා. ඒක ඔහු තේරුම් ගන්න අවශ්‍යයි.
ආර්. ප්‍රේමදාස මහත්තයා එදා එක පෑන් පහරින් ගාමිණී දිසානායක කැබිනට් එකෙන් එළියට දැම්මා. ලලිත්, ගාමිණී වෙනම ගිහින් රාජාලියා බිහි කළා. එතැනින් තමයි, එජාපය වැටෙන්න ගත්තේ. ලලිත් සහ ගාමිණී දෙපැත්තේ තියාගෙන ප්‍රේමදාසට ලස්සන ගමනක් යන්න තිබුණා. නමුත් ඒක වුණේ නෑ. මට අවුරුදු 20ක දේශපාලන ඉතිහාසයක් තිබෙනවා. ගාමිණීගේ පුතා වුණත් තාත්තා ඉදිරියට දාගෙන නෙවෙයි මම එන්නේ. පුතාණෝ සංකල්පය මම විශ්වාස කරන්නේ නෑ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා වගේ තමන්ගේ පෞරුෂය ශක්තිමත් කර ගන්න ඕනෙ. නාමල් හිතනවා නම් මහින්දගේ ඡන්ද එයාට ගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නෑ. මේ නිසා පුතාණෝ සංකල්පයේ මම නෑ.”
මේ අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ, මහනුවර මහ නගර සභාවේ හිටපු පුරපති කේසර සේනානායක මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.