Sunday, May 11, 2025
Home » යුක්‍රේන ජනපති සහ අමෙරිකා ජනපති අතර උණුසුම් වචන හුවමාරුවක්

යුක්‍රේන ජනපති සහ අමෙරිකා ජනපති අතර උණුසුම් වචන හුවමාරුවක්

by chanaka
March 1, 2025 9:37 pm 0 comment

යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවේදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ධවල මන්දිරයට පැමිණියේය.

එහිදී දෙරට අතර ඛණිජ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව තිබුණි.

යුක්‍රේනයේ ඛනිජ සම්පත් සහ රුසියාව සමග ගැටුම් සමනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රධාන වශයෙන් එම හමුව සංවිධාන කර තිබුණු අතර යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි එම හමුවේදී පවසා ඇත්තේ අමෙරිකාව යුක්‍රේනය වෙනුවෙන් වැඩි සහයෝගයක් දැක්විය යුතු යන මතයේ සිට බව මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුරුව යුක්‍රේනය සම්බන්ධයෙන් අම‍ෙරිකාව දැඩි වගකීමක් ගැනීම සුදුසු නොවේ යන මතයේ සිට ට්‍රම්ප් සෙලෙන්ස්කි ඉදිරියේ අදහස් දක්වා ඇත.

එහිදී ආවේගශීලී වූ ට්‍රම්ප් පවසා ඇත්තේ තමා යුක්‍රේනයට ලබාදෙන සහය පිළිබඳ ස්තූතිවන්ත විය යුතු බවයි. එමෙන්ම සෙලෙන්ස්කි තුන්වැනි ලෝක යුද්ධය සමග සූදුවක යෙදෙන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර ඇත.

රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සමග සම්මුතියක් නොතිබිය යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සෙලෙන්ස්කි වෙත පවසා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම හමුවේදී සෙලෙන්ස්කිට ධවල මන්දිරයෙන් වහාම පිටව යන ලෙසද ට්‍රම්ප් දැනුම් දී ඇති බවයි. ඒ අනුව සෙලෙන්ස්කි වෙනුවෙන් සැලසුම් කර තිබූ ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ඡාවද හදිසියේම අවලංගු කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් සෙලෙන්ස්කි ඇමරිකානු ජනතාවට ස්තුතිය පළකරමින් යුක්‍රේනයේ පවතින තත්ත්වය සඳහා ඇමරිකාවේ සහයෝගය ඉතාමත් වැදගත් බව පසුව පැවති ජනමාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත.

ට්‍රම්ප් සමග පැවැත්වූ හමුව පුරාවට තමාට ආචාරශීලී වීමට අවශ්‍ය වූ නමුත් ඇතැම් දේශපාලනඥයන් යුක්‍රේනයේ සිදුවු මරණ සහ ඔහුගේ රටේ තත්ත්වය පිළිබඳව ට්‍රම්ප් වෙත ලබා දී ඇති සාවද්‍ය තොරතුරු මත ආවේගශීලි මොහොතක් නිර්මාණය වූ බව සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

රටවල් දෙකක සම්බන්ධතා යනු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවක් නොවන බවත් දෙරට අතර ඓතිහාසික සබඳතා ඉදිරියට ශක්තිමත්ව පවත්වාගතයුතු බවත් සෙලෙන්ස්කි තවදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තාවල සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT