Home » හොලිවුඩය වර්ණවත් කළ ඔස්කාර් සම්මාන රැයේදී

හොලිවුඩය වර්ණවත් කළ ඔස්කාර් සම්මාන රැයේදී

- ‘අනෝරා’ චිත්‍රපටයට සම්මාන 5ක්

by sachintha
March 4, 2025 4:53 pm 0 comment

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර හොලිවුඩ් පුරවරයේ ඩොල්බි රඟහලේ 97 වැනි වරටත් පැවැති ඔස්කාර් සම්මාන රාත්‍රියේ හොඳම චිත්‍රපටය ඇතුළුව සම්මාන 5කට හිමිකම් කීමට අමෙරිකාවේ ප්‍රකට සිනමාකරුවකු වන ෂෝන් බේකර්ගේ ‘අනෝරා’ චිත්‍රපටය සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේදි තිරගත වූ මේ රෝමාන්තික ප්‍රහසන චිත්‍රපටයේ රංගනය උදෙසා 25 හැවිරිදි යොවුන් නිළි මයිකි මැඩිසන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් අතර, හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ෂෝන් බේකර් සම්මානයට පාත්‍ර වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මීට අමතරව හොඳම තිර රචනයට සහ හොඳම සංස්කරණයට හිමි සම්මාන ද එම චිත්‍රපටයට හිමි වූ බව වාර්තා වේ.

මෙවර සම්මාන උලෙළේදී හොඳම නළුවාගේ සම්මානය දි බෘටලිස්ට් චිත්‍රපටයේ රඟපෑ ඒඩ්‍රියන් බෝඩිට හිමි වූ අතර, ඔහු එම සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව මෙය බව ද වාර්තා වේ. හොඳම සහාය නළුවාගේ සම්මානය ‘අ රියල් පේන්’ චිත්‍රපටයේ රඟපෑ කීරන් කල්කින් දිනාගත් බවත්, ඔහු ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමිලියා පෙරෙස් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේ සෝ සල්ඩානල් බව ද වාර්තා වේ. හොඳම ඇඳුම නිර්මාණය සඳහා වන ඔස්කාර් සම්මානය මෙවර හිමිවී ඇත්තේ විකෙඩ් චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කරනු ලැබූ පෝල් ටාස්වේල් විසිනි. ඒ අනුව ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු කළු ජාතිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වූ බව ද වාර්තා වේ.

පසුගිය ජනවාරි මාසයේදි 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඔස්කාර් සම්මාන උලෙළ කැලිෆෝනියාවේ පැතිරී ගිය ළැව් ගින්න හේතුවෙන් කල් දැමීමට සිදුවූ අතර, ඩොල්බි රඟහල ළැව් ගින්නෙන් බේරා ගැනීමට දැඩි කැපවීමක් සිදු කළ කැලිෆෝනියාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ඇගැයීමට සම්මාන උලෙළේ සංවිධායකවරු පියවර ගැනීම කැපී පෙනුණු බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT