Friday, May 9, 2025
Home » අලුත් සමාජයකට අවශ්‍ය වෙනස ඇතිකරගත යුත්තේ තමන්මයි

අලුත් සමාජයකට අවශ්‍ය වෙනස ඇතිකරගත යුත්තේ තමන්මයි

-අරණායක, කාන්තා බලමණ්ඩලයේ දී අගමැතිනි කියයි

by sachintha
March 4, 2025 4:45 pm 0 comment

අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසූවාය.

අරණායක, සුනන්ද රඟහලේ පෙරේදා (02) පැවති කාන්තා බලමණ්ඩලයේ සාමාජිකාවන් අමතමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බව අගමැතිවරිය කීවාය. අගමැතිවරිය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

දීර්ඝ කාලයක සිට කළ උත්සාහයෙන් අපි නිසි තැනට ඇවිත් තිබෙනවා. දැන් රට නිවැරදි මාවතට ගත යුතුයි. සියලු දෙනාටම සතුටින්, සෞභාග්‍යයෙන් ඉන්න පුළුවන් රටක් හැදීම අපි ආරම්භ කළා. ඒ සඳහා අවශ්‍ය පරිවර්තන කරන්න, වැරදි නිවැරදි කරන්න අපි කටයුතු කළ යුතුයි.

එය ආණ්ඩුවකට පමණක් කරන්න බැහැ. රාජ්‍ය නිලධාරින්, ආගමික නායකයන් වගේම පුරවැසියන් වන ඔබත් ඒ වෙනුවෙන් පෙරට ආ යුතුයි. අපේ අරමුණ වෙනුවෙන් අපි සාමූහිකව වැඩ කරන්න අවශ්‍යයි.

2024 මේ රටේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියන්න කාන්තාවන් එක මිටට ආවා. අනාගතයේ ලියැවෙන රටේ ඉතිහාසය අලුතින් ලියන්න නම් කාන්තාවන් වන ඔබ නායිකාවන් ලෙස පෙරට ඇවිත් කටයුතු කරන්න ඕනෑ.

රජය ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහන පරිසරය පිරිසුදු කිරීම පමණක් නෙමෙයි අරමුණු වෙලා තිබෙන්නේ. අපි හිතන විදිහ, අපි ක්‍රියා කරන විදිහත් පිරිසුදු වෙන්න, වෙනස් වෙන්න අවශ්‍යයි. ආධ්‍යාත්මිකවත්, ආකල්ප වශයෙනුත් අපි වෙනස් විය යුතුයි. ඔබ වෙනස් වෙලා ඔබේ නි‍ෙවස, ගම, රාජකාරි ස්ථානය ඉඳලා වෙනස් විය යුතුයි. රට පරිවර්තනීය වෙනසකට පත්කරන්න යන ගමනේ ඔබ ඉතා වැදගත්.

පාර්ලිමේන්තුවේ අපි දකිනවා, විපක්ෂය අපිට වඩා මාක්ස්වාදීන් වෙලා, අපිට වඩා ලෙනින් කියවලා වගේ කටයුතු කරන්නේ.

මෙවර අය-වැය අපි ඉදිරිපත් කළේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මූලික කරගෙන සියලු දෙනාට ප්‍රතිලාභ හිමිවන ආකාරයට. රාජ්‍ය, පෞද්ගලික අංශ වගේම සමුපකාරය, පුරවැසියන් සියලු දෙනා ආර්ථික කළමනාකරණයට සම්බන්ධ විය යුතුයි.

රාජ්‍ය සේවයේ මූලික වැටුප් වසර ගණනකින් වැඩි වෙලා නැහැ. නමුත් අපි මෙවර අය-වැයෙන් ඒක කරන්න කටයුතු කළා. රාජ්‍ය සේවකයන් පෙරළා තම සේවය නිසි පරිදි ජනතාවට ලබා දිය යුතුයි. රාජ්‍ය සේවය ආකර්ෂණීය සේවයක් බවට පත්විය යුතුයි.

ගුරු, විදුහල්පති වැටුප දැනට ලංකාවේ තිබෙන ඉහළ වැටුප් ශ්‍රේණි අතරට ගෙනත් තිබෙනවා. අධ්‍යාපනය නඟාසිටුවන්න නම්, හොඳ අධ්‍යාපනයක් දරුවන්ට ලැබෙන්න නම්, ගුරුවරුන් දැනුමෙන් වගේම ආධ්‍යාත්මිකවත් ශක්තිමත් විය යුතුයි. මේ සියල්ල අපි කරන්නේ ජනතා සේවාව ලබා දෙන ආයතන තුළ ගුණාත්මකභාවය වැඩි කරන්න.

දේශපාලන හිතවත්කම් නැතුව කිසි දෙයක් කරගන්න බැරි යුගය අපි අවසන් කළා. අද දේශපාලකයන්ගෙන් රාජ්‍ය නිලධාරින්ට දුරකතන ඇමතුම් එන්නේ නැහැ.

රජය මඟින් කාන්තාවන් ආර්ථිකයට සම්බන්ධ කරන්න වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් තිබෙන බාධක අපි ක්‍රමයෙන් අඩු කරමින් යනවා. රට තුළ කාන්තාවන්ට සුරක්ෂිත සමාජයක් බිහි කරන්න අපි කටයුතු කරනවා.

නි‍ෙවස තුළ කාන්තාවන් දරන වගකීම් නිසි පරිදි කළමනාකරණය කරගනිමින් ආර්ථිකයට දායක වීමට අවශ්‍ය නිදහස ඔවුන්ට හිමි විය යුතුයි. ඒ වෙනුවෙන්, පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, සෞඛ්‍ය සේවය සංවර්ධනය කරනවා.

කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන්ට තාක්ෂණික පුහුණුව, නවීන දැනුම ඉක්මනින් ලබා ගැනීමට අවස්ථා නිර්මාණය විය යුතුයි. ඒ මඟින් ග්‍රාමීය ආර්ථිකය ශකතිමත් කරන්න අපි සැලසුම් කරමින් යනවා.

රට වෙනස් කරන්න නම් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය යුතුයි කියලා රජය විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් 2026 සිට නව ප්‍රතිසංස්කරණ ගෙන එන්න කටයුතු කරමින් යනවා. ඒ සඳහා අවශ්‍ය ගුරු පුහුණුව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙවර අය-වැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා.

මහා සංඝරත්නය, පරිසර ඇමැති ධම්මික පටබැඳි, පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහත්වරුන් ඇතුළු අරණායක ප්‍රදේශය නියෝජනය කරන ජනතා නියෝජිතයන් හා කාන්තාවෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT