Home » චෝදනා කරන කවුරුත් කළ යුත්තේ වැටුප් වැඩි වීම අගය කිරීමයි
රට යනමග

චෝදනා කරන කවුරුත් කළ යුත්තේ වැටුප් වැඩි වීම අගය කිරීමයි

-කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

by sachintha
March 5, 2025 4:01 pm 0 comment

අපි භාර ගත්තේ පතුලටම හින්දූ භාණ්ඩාගාරයක්

පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කර ජනතාවට සහන සැලසූ අය-වැයක්

අය – වැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි වී ඇති ආකාරයත්, ගුරු වෘත්තියේ ගුණාත්මකභාවය වෙනුවෙන් ගෙන ඇති සැලසුම් පිළිබඳවත් කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි, මේ.

රාජ්‍ය සේවකයන්ට, විශේෂයෙන් ගුරුවරුන්ට මෙවර අය-වැයෙන් වැටුප් වැඩි වූ බව කිව්වත් එය පිළිගැනීමට ඔවුන් සූදානම් නෑ නේද?

එකක් තමා ගුරු සේවයේ පහළම ශ්‍රේණිය වන 3 (II) සිට ඉහළම ශ්‍රේණිය වන පළවෙනි පන්තිය දක්වා විදුහල්පති සේවයේ 3,2,1 ලෙස ශ්‍රේණි තුනක් තියෙනවා. මේ සියලු දෙනාට අවම වැටුප් වැඩි වීම රුපියල් 7500 සිට උපරිමය රුපියල් 60,000 වගේ ප්‍රමාණයකින් සිදුව තිබෙනවා. ගුරු සහ විදුහල්පති සේවයේ ඉහළම කෙනාටත් මේ වැටුප් වැඩි වීම ලැබෙනවා.

මේ චෝදනා කරන කවුරුත් පළමුව කළ යුත්තේ මේ වැටුප් වැඩි වීම අගය කිරීමයි. ඊට පසුව තමා ඉතිරි ප්‍රශ්න කතා කළ යුත්තේ. ගුරු විදුහල්පති සේවාවලත්, ගුරු උපදේශක සේවයේත්, අනෙකුත් සේවාවන් දෙක ඇතුළු මේ සේවාවන් පහේම සැලකිය යුතු වැටුප් වැඩි වීමක් ලැබී තියෙනවා. ඒ අය කියන විදියට නොහිතූ තරම් කියන්නේ මොකක්ද දන්නේ නෑ.

අපි ඉල්ලූ තුනෙන් දෙක කියලා එකක් තිබුණා. ඒ තුනෙන් දෙකේ මූල්‍ය වටිනාකමට වඩා වැඩි වැටුප් වැඩි වීමක් මේකෙ ලැබී තියෙනවා. පළවෙනි පන්තියේ ගුරුවරයක්ගේ තුනෙන් දෙකට ලැබෙන්න ඕනෙ රුපියල් දහ නව දහස් ගාණක්. හැබැයි මූලික වැටුප හතළිස් දහසකින් පමණ වැඩි වී තිබෙනවා. ඒ අනුව රුපියල් විසි දෙදහසකට ආසන්න ප්‍රමාණයකින් ඉල්ලුවාට වඩා වැටුප් වැඩි වීමක් ලැබී තියෙනවා.

එතකොට මෙතැන තියෙන ගැටලුව මොකක්ද?

ඒ තමයි, වැටුප් විෂමතා ගැටලුව. ඒක තමා මේ අය කියන්නේ. මේ සම්බන්ධයෙන් පහුගිය දිනවල මාධ්‍ය වැඩසටහන් ගණනාවකදී මම පැහැදිලි කිරීම් කළා. එක්කෝ මේ අයට මම කළ පැහැදිලි කිරීම් තේරෙන්නේ නෑ. නැත්නම් තේරුණත් නොතේරුණා වගේ ඉන්නවා.

1994දී තමයි ගුරු සේවයක් හදන්නේ. එසේ හැදූ ගුරු සේවයේ පන්ති තුනක් තියෙනවා, 3, 2, 1 කියලා. 3 වන පන්තියේ (I) සහ (II) කියලා ශ්‍රේණි දෙකක් තියෙනවා. 2 වන පන්තියේ 2 (I) සහ 2 (II) කියලා ශ්‍රේණි දෙකක් තියෙනවා. 1 මෙහි පළමු පන්තියයි. 2 (I) සහ 2 (II) කියන ශ්‍රේණි දෙකට 1994දී දීප ව්‍යාප්ත සේවාවල වැටුප් මට්ටම ලබා දුන්නා. හැබැයි ඒ දීප ව්‍යාප්ත සේවා මට්ටමට යන්න නම් ගුරුවරයෙක් සම්පූර්ණ කරගත යුතු කොන්දේසි ගණනාවකුත් තිබුණා. එතකොට නිකන්ම වැටුප දෙනවා නොවෙයි. ඉහළ වැටුප් දුන්නා. ඒ වැටුපට සරිලන ලෙස මෙන්න මේ කොන්දේසි සපුරා ගන්න ඕන කියලා ඒ ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව තිබුණා.

එතකොට 1 වන පන්තියට යන්න නම් විභාගයක් තිබුණා. 3 ඉඳලා 2 පන්තියට යන්න විභාගයක් තිබුණා. එලෙස විභාගයක් තියලා, ඒ පන්තියේ ඉන්න අනුමත සේවක සංඛ්‍යාව තීරණය කර, කොන්දේසි සපුරා අවසානයේදී විභාගය සමත්ව තමයි මේ පන්තිවලට යන්න ඕනකම තිබුණෙ. 3 පන්තියේ ඉන්න කෙනෙක් 2 පන්තියට යන්න ඕනෙ විභාගයකින් සමත් වෙලා. 2 පන්තියේ ඉන්න කෙනෙක් 1 පන්තියට යන්න ඕනෙ විභාගයකින් සමත් වෙලා. විභාගය සමත් වෙන්න කලින් වෘත්තීය සමාලෝචනයක් කියලා එකක් තිබුණා. ඊට අමතරව සේවා සැසි සම්පූර්ණ කර ගන්න තිබුණා. මේ සියල්ලත් එක්ක තමා අර කියන ඉහළ වැටුප දුන්නේ. ගුරුවරුන්ට මේ වැටුප අවුරුදු දෙකක් දුන්නා. ඒ කියන්නේ 1995 සහ 1996 අවුරුදුවල. 1997 ජනවාරි බී.සී. පෙරේරා වැටුප් කොමිසමෙන් මේක අහෝසි කළා. හේතුව ලෙස ඒ අය දැක්වූයේ මේ කියන කොන්දේසි සපුරා ගන්න ඕන වැඩපිළිවෙළ හැදී නොතිබීම නිසා කියලා. එතැන් සිට කළ දේ තමයි, ගුරුවරුන්ට ඉහළට උසස් වෙන්න ඕනෙ කියන කොන්දේසි කිසිවක් නොසලකා ගුරුවරුන් අවුරුදු දෙකකට වතාවක්, අවුරුදු තුනකට වතාවක් ආදී වශයෙන් කැබිනට් පත්‍රිකා දාලා උසස්වීම් දීම. අවුරුදු තිහක් ඔන්න ඕක තමා සිදු වූ දේ. අර කියන කොන්දේසි මොකුත් නැතිව ගුරු සේවාවේ ඉහළට ඉහළට ගිය මේ පිරිස 1994 දුන් වැටුප අපට දෙන්න කියලා ඉල්ලනවා.

ඔබ ඇතුළු ගුරු සංගමයත් මේ වැටුප් වැඩි වීම් ඉල්ලුවා නේද?

ඔව්, අපිත් මේක ඉල්ලුවා. හැබැයි අපි ඉල්ලනකොට ඒක දෙන්න නම් මෙන්න මේ කොන්දේසි සපුරා ගන්න ඕනෙ කියලා කියන එක පාලකයන්ගේ වගකීමක්. දැන් අපි ඉල්ලන ගොඩෙත් ඉන්නවා. පාලකයන් ලෙසත් නියෝජනය වෙනවා. එතකොට අපි කියන්නේ හරි, මේක දෙනවා. නොදෙනවා කියලා අපි කොතැනකදීවත් කියලා නෑ. 1994දී කිව්වා වගේ ගුරු සේවය ඔසවා තබන්න වැඩපිළිවෙළක් දැන් අපි හදාගෙන යනවා.

3 (II) සහ 3 (I) ශ්‍රේණි දෙක 2000 වසර වගේ වෙනකොට අහෝසි වෙන්න තමා නියමිතව තිබුණේ. තවදුරටත් 3 (II) සහ 3 (I) කියන ශ්‍රේණිවලට ගුරුවරුන් බඳවා ගන්නේ නෑ. ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගන්න තීරණය කර තිබුණේ පුහුණු උපාධිධාරීන්. ඒ කියන්නේ උපාධියක් තිබුණාට මදි. ගුරු පුහුණුවක් තියෙන්නත් ඕනෙ. නමුත් අවුරුදු තිහක් යන තුරු ඒකත් වුණේ නෑ. හේතුව වුණේ ඉහළ වැටුපක් දෙන්න නම් පුහුණු උපාධිධාරියෙක් තමයි ගුරු සේවයට බඳවා ගන්න ඕනෙ.

මේ වෙනුවෙන් ආණ්ඩුවේ සැලසුම් මොනවාද?

වර්තමාන අපේ ආණ්ඩුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය මේකට අදාළ වැඩපිළිවෙළ දැන් සකස් කරමින් යනවා. එකක් තමයි අධ්‍යාපන කවුන්සිලයක් හදන්න අපි තීරණය කර තිබීම. ඒකෙන් තීරණය කරනවා, ගුරු සේවයට එන්න ඕනෙ සුදුසුකම් සහ ඉදිරියට යන්න ඕනෙ සුදුසුකම් මොනවාද කියලා. එයට වුවමනා පසුබිමත් අපි හදනවා. ඊළඟට ඒකට ගැළපෙන අලුත් ගුරු සේවා ව්‍යවස්ථාවක් හදනවා. මේ තියන එක හරියන්නේ නෑ. අලුත් ගුරු ව්‍යවස්ථාවක් හදලා ගුරුවරයාගේ ගුණාත්මකභාවය වැඩි කරන්න අවශ්‍ය කරන සැලසුම් දැන් සකස් කරමින් යනවා. මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡා ගණනාවක් කළා. එහි ප්‍රතිඵලයක් විදියට ළඟදීම ඒකට අදාළ ඇමැති මණ්ඩල පත්‍රිකාව යොමු කරනවා. පසුව අධ්‍යාපන සභාවක් හදන්න සැලසුම් සකස් කරමින් යනවා.

එනිසා ඔය චෝදනා කරන බහුතරයක් දන්නේ නෑ මේකෙ ආරම්භය, ඇයි මෙහෙම වැටුපක් දුන්නෙ, ඒක අහිමි වුණේ ඇයි, පාලකයන් ඒක අහිමි කළේ ඇයි වගේ දේවල්. මෙතැනදී පාලකයන් කළ වරදක් තියෙනවා. ඒ තමයි, 1994 හැදූ ගුරු සේවා ව්‍යවස්ථාව අඛණ්ඩව ක්‍රියාත්මක නොකිරීම. ඒ වරද නිවැරදි කරන්න තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදුවේ. දැන් අපි ඒ වරද නිවැරදි කර ගුරුවරයා උසස් තැනකට ගේන්නත්, ඉහළ සුදුසුකම් සපුරා ඇති අය ඉහළ වැටුප් තලවලට ගේන්නත් අවශ්‍ය සැලසුම් සකස් කරමින් යනවා.

සරසවි ආචාර්යවරුනුත් වැටුප් සම්බන්ධයෙන් චෝදනා නඟනවා?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේත්, මේ රටේ සියලුම රාජ්‍ය සේවකයන්ගේත් අවම වැටුප් ලබන කෙනාගේ සිට ඉහළ වැටුප් ලබන කෙනා දක්වා වැටුප් වැඩි වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙත් ඉතිහාසයේ ඉඳලා ලොකු සටනක් තිබුණා, මේ මූලික වැටුප වැඩි කරන්න ඕනෙ කියලා. පහුගිය කාලය පුරා අපේ රටේ පාලකයන් මේ මූලික වැටුප වැඩි නොකර දීමනා තමා දිගින් දිගට වැඩි කළේ. එනිසා තමා අපේ ආණ්ඩුව තීරණය කළේ දීමනා වැඩි කරනවා වෙනුවට මේ මූලික වැටුප වැඩි කරන්න ඕනෙ කියලා. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේත් මූලික වැටුප සැලකිය යුතු මට්ටමකින් වැඩි කර තියෙනවා. ඒ අතරේ ලැබූ සමහර දීමනාවල යම් අඩු කිරීමක් සිදු කර තියෙනවා.

අපි භාර ගත්තේ හොඳට පිරී ඉතිරී යන භාණ්ඩාගාරයක් තියන රටක් නෙමෙයි, පතුලටම හින්දූ භාණ්ඩාගාරයක් තියෙන රටක්. ඒක මේ රටේ සෑම පුරවැසියෙක්ම දන්නවා. එවැනි භාණ්ඩාගාරයකින් තමයි අපි පළමු අය – වැයෙන්ම මේ සා විශාල වැටුප් වැඩි වීමක් දෙන්න කටයුතු කළේ.

අපි බිලියන 325ක් වැටුප් වැඩි කිරීමට මුදල් වෙන් කර තියෙනවා. වැටුප් වැඩි කිරීමට විශාල මුදලක් වෙන් කරන ගමන් ඒ වැටුපට සරිලන දීමනා දෙන්න ගියොත් ඒක මේ ආර්ථිකයට දරන්න බෑ. ඒ නිසා මේ අයගේ යම් යම් දීමනාවල සංශෝධන කළා.

වෙන් වෙන්ව නොව සමස්තයක් ලෙස මේ අය-වැය දෙස බැලීම කාලීන අවශ්‍යතාවක් නේද?

ඇත්තටම ඔව්. මොකද මේ අය-වැය දෙස විවෘත මනසකින් බැලීමට හැම දෙනාටම හැකියාව තිබිය යුතුයි. මේ අය-වැයෙන් සමාජයේ සෑම පැතිකඩක්ම ආමන්ත්‍රණය කර තියෙනවා. ඔටිසම් දරුවන් ගැන ද, ළමා නිවාසවල ඉන්න දරුවන් ගැන ද ආදී වශයෙන් වෙනත් අය – වැයවලින් නොසිතූ කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කර තියෙනවා. ඒ වගේම සමාජ සුබසාධනය සහ සමාජ සාධාරණත්වය වැනි පැති කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. මේ ‘පෝසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන අපේ පස් අවුරුදු වැඩපිළිවෙළේ පළමු අය – වැය. මේ අය – වැය ඇතුළෙ අපේ රට ඉදිරියේ ගමන් කරන දිසාව මැනවින් පැහැදිලිව පෙන්වා දී තියෙනවා.

සමහරුන් කියා තිබුණේ මේක යුරෝපා රටක ඉදිරිපත් කළ අය-වැයක් හා සමානයි කියලා. එයට හේතුව විවිධ පැති මෙයින් ආවරණය කර තිබීම. ඩිජිටල්කරණය, ඩිජිටල් ආර්ථික වැනි පැති ගැන අපි සිතා තියෙනවා. රටේ අවාසනාවට එක් එක් කෙනා තමන්ගේ කොටස දෙස තමා මෙයින් බලන්නේ. ආණ්ඩුවක් විදියට අපි හැමෝම ගැන කතා කරන්න කැමතියි. හැමෝටම සහන දෙන්නත් කැමතියි. පහුගිය ආණ්ඩු වගේ පාලකයන්ට වැඩිපුර බෙදාගෙන පාලිතයන්ට අඩුවෙන් බෙදූ අය – වැයක් නෙමේ. පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කර ජනතාවට සහන සැලසූ අය – වැයක් මේ. ආත්මාර්ථකාමී නොවී සමස්තයක් ලෙස අය – වැය දෙස බලන්න කියලා අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT