Home » ධර්ම සභාව

ධර්ම සභාව

by sachintha
March 5, 2025 4:24 pm 0 comment

සියලුම පින්වතුන් සාවධානව ඇහුම්කන් දෙමින් සිටී. පිරිස අතරේ සිටි එක් අයෙක් නැගිට තවත් ප්‍රශ්නයක් අසන්නට විය.

ප්‍රශ්නය :- ස්වාමින් වහන්ස ත්‍රිපිටකය ගැන එක එක කථා සමාජයේ තියෙනවා. කල්පයන් ගැනත් එහෙමයි. ස්වාමින් වහන්ස, ත්‍රිපිටකය ගැනත්, කල්ප විනාශයන් සහ කල්ප ගැනත් පැහැදිලි කර දෙන්න පුළුවන් ද?

ස්වාමින් වහන්සේ :-

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ උතුම් දහම ත්‍රිපිටකය අටුවා ටීකා අනු ටීකා සහ පරිවාර ග්‍රන්ථයන් හී කිසිදු වෙනසක් නොමැතිව ඉතාම සුරක්ෂිතව පවතී. භාග්‍යවතුන් වහන්සේ යම් අදහසක් දැරුවාද ඒ අදහසම ත්‍රිපිටක අර්ථකථන ක්‍රමය තුළ සුරක්ෂිතව පවතී. අතිශයින්ම ගැඹුරු ඒ උතුම් ධර්මය විවෘත වන්න, විවෘත වන්න බබළයි. වැසී තිබෙන විට බබළන්නේ නැත. ධර්මය ඉබේ විවෘත වන්නේ ද නැත. එය විවර කළ යුතුය.

බුදු දහම ඕනෑම ජාතියක, ආගමක, රටක ජීවත් වන්නන්ට කළ හැකි පරීක්ෂණයකි. එය ආර්ය පර්යේෂණයකි. ඉපදීම, ජරාව, ලෙඩවීම, මරණයට පත්වීම, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසය, අප්‍රිය සම්ප්‍රයෝගය, ප්‍රිය විප්‍රයෝගය, ඉච්ඡා විඝාතය ආදී සියල්ලම සිදු වන්නේ කෙසේදැයි බුදු දහම තුළ උගන්වනු ලැබේ. එම ප්‍රශ්නවලට පිළිතුර ලෙස ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රීය ධර්ම ආදිය ගැන අංග සම්පූර්ණවම දේශනා කර තිබේ. එපමණක් නොවේ. ඉන් පසු ඒවා හට ගන්වන හේතුව ද දේශනා කර තිබේ. ඒවායෙහි පැවැත්ම නසන ක්‍රමයද, ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය ද දේශනා කර තිබේ.

එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඕනෑම කාලයකට පොදු, සියල්ලටම අදාළව නොවෙනස්ව ක්‍රියාත්මක වන, සියල්ලටම අදාළ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අවබෝධ වීමයි. ඒ දුක්ඛ සමුදය ධර්ම නසන්නට (නිවන් දකින්නට) කටයුතු කළ යුතුය. ඒ සඳහා අනුගමනය කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

බුදු දහම තමන්ව ගලවා ගන්නා කෙනෙක් ගැන ඇදහීම් මත පවතින ආගමක් හෝ ලෝකයේ පවතින වෙනත් දර්ශන මෙන් ඒවාට සමාන මතවාදී දර්ශනයක් හෝ නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ දහම පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන සහ අවබෝධයෙන් ලබන ප්‍රතිඵල සමඟ ඇති අංග සම්පූර්ණ ආර්ය පර්යේෂණයකි.

ලොව උපදින ඕනෑම මනුෂ්‍යයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් විසින් ඕනෑම පරීක්ෂණයක් කර මේ විදිහටයි මේ කාරණාව සිද්ධ වෙන්නේ කියා කියනවා නම්, ඒ කී දෙය නිවැරදි නම්, ඒ කියන සියලුම මතවාද නිගමන ඉක්මවා, එයට අදාළ අනෙකුත් සියලුම කරුණුත් සමඟම අංග සම්පූර්ණව දේශනා කර ඇති භාග්‍යවතුන් වහන්සේගේ දහම, ලොව ඕනෑම කෙනෙකුට කළ හැකි ආර්ය පර්යේෂණයකි. ඒ සියල්ලම ඇතුළත් වන්නේ ත්‍රිපිටක, අටුවා, ටීකා, අනුටීකා සහ පරිවාර ග්‍රන්ථ ඇතුළත් බුද්ධ වචනය තුළයි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මයේ ගැඹුරුම ධර්ම කොට්ඨාසයන් වන්නේ අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨාන ප්‍රකරණය යි. එය බුදු දහමේ ඇති ගැඹුරුතම ධර්ම කොට්ඨාසයන් වේ. එයට බැස ගැනීමට පෙර එම කරුණුවලට අදාළ තිබිය යුතු මූලික කරුණු ගැන අවබෝධයක් කෙටියෙන් හෝ තිබිය යුතු ය. එය පාලි භාෂාව (මගධ භාෂාව) නොදන්නා අයට සහ සාමාන්‍ය ජනතාවට සරලව දැනගත හැකි වනසේ පහතින් පෙළ ගස්වා කරුණු දක්වමු.

බෝධි සත්ත්වයන් වහන්සේ සහ ශ්‍රාවකයන් වහන්සේලා පාරමී ධර්ම සම්පූර්ණ කිරීම,

පට්ඨාන ධර්මය ගැන දැන ගැනීමට නම් බෝධි සත්වයන් වහන්සේලා සහ ශ්‍රාවකයන් වහන්සේලා ගැන දැනගෙන නිරවුල් අවබෝධයක් ලබා තිබිය යුතුය. සසරේ දීර්ඝ ස්වභාවය ද දැන ගත යුතුය. අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨාන ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ්ඥතා ඤාණය රිසි සේ හසුරුවන භූමියයි. ශ්‍රාවකයින්ට එය කළ නොහැකිය. ඒ නිසා මහ බෝධි සත්ත්වයන් වහන්සේලා ගැනත්, එම පාරමිතා කාලයන් ගැනත් ශ්‍රාවක සංඝරත්නය සහ පාරමිතා කාලයන් ගැනත්, කල්පයන් සහ සංසාරයේ ස්වභාවය ගැනත් තරමක අවබෝධයක්වත් තිබිය යුතුය.

කල්පය සහ කල්ප විනාශය

– කල්පය, අන්තර් කල්ප, මහා කල්ප, අසංඛ්‍ය කල්ප යනු

අන්තඃ කල්පය, අසංඛ්‍ය කල්පය, මහා කල්ප යයි කල්ප තුනක් තිබේ.

රජවරු, ඇමැති මැති ආදී පිරිස් අධාර්මික වන විට මුළු රටම අධාර්මික වෙයි. ඒ ඇසුරේ සිටින දෙවියන්ද, එතනින් එහාට භවාග්‍රය දක්වා ඇති භූමි සියල්ලේ ආර්ය ශ්‍රාවකයන් හැර අනෙක් සියල්ලෝම අධාර්මික වෙති. එවිට සියල්ලම විෂම වේ. මේ කාලයෙහි මිනිසුන්ගේ ආයුෂය ක්‍ර‍මයෙන් පිරිහී ගොස් දස අවුරුද්ද පරමායුෂය වන කාලයක් පැමිණේ. ඒ කාලයේ දී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැති වීමෙන් හෝ මහා මිනිස් විනාශයක් වේ. ඉතා ටික දෙනකු පමණක් ඉතිරි වේ. ඉන් පසු මිනිසුන් සුචරිතයෙහි හැසිරෙන්නට පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාව මඳින් මඳ ඔවුන්ගේ ආයුෂය වැඩෙන්නට පටන් ගනී. ඒ වැඩීම වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩේ. ඉන් පසු දුසිරිතට හැරීමෙන් නැවතත් මිනිස්සු පිරිහෙන්නට පටන් ගනිති. ක්‍ර‍මයෙන් පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලයට එළඹේ. ඒ කාලයේ දී නැවතත් මිනිස් විනාශයක් වේ.

ඉහත ආකාරයට මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන් ගෙන අසඞ්ඛ්‍යය දක්වා වැඩී, නැවත දශ වර්ෂය පරමායුෂය වන තෙක් පිරිහීමට ගතවන කාලයට අන්තඃකල්පය යි කියනු ලැබේ. එවැනි අන්තඃකල්ප හැට හතරක් අසංඛ්‍ය කල්ප එකකි. සංවර්තය, සංවර්තස්ථායි, විවර්තය, විවර්තස්ථායි ලෙස අසංඛ්‍ය කල්ප සතරක් තිබේ. අසංඛ්‍ය කල්ප සතරක් මහා කල්ප එකකි.

කල්ප විනාශය සහ

සත්වයන් පහළ වෙන හැටි

ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ දීර්ඝ කාලයකට වරක් මේ මහ පොළොව දිව්‍ය ලෝක හා ඇතැම් බ්‍ර‍හ්ම ලෝකත් සමඟ විනාශ වෙයි. ලෝකය වරක් විනාශ වී යෑමටත් ඉතා දීර්ඝ කාලයක් ගත වේ. ලෝකය නැසෙමින් පවත්නා කාලය සංවර්ත කල්පය නම් වේ.

ලෝකය විනාශ වීමෙන් පසු විනාශ වන්නට ගත වූ කාලය තරම් කාලයක් හිස්ව පවතී. ඒ කාලය සංවර්තස්ථායී කල්පය නම් වේ.

නැවත ලෝකය මඳින් මඳ හැදෙන්නට පටන් ගනී. ලෝකය හැදී සම්පූර්ණ වීමට ගත වන කාලය විවර්ත කල්පය නම් වේ.

ලෝකය සම්පූර්ණ වී නැවත විනාශ වන්නට පටන් ගැනීම දක්වා පවත්නා කාලය විවර්තස්ථායි කල්පය නම් වේ. මේ අසංඛ්‍ය කල්ප සතර එක් මහා කල්පයෙකි. අසංඛ්‍ය කල්පයක ප්‍ර‍මාණය, අන්තඃ කල්ප හැට හතරකි. (විස්සක් ලෙස ද සඳහන් වේ.) මහා කල්පයේ ප්‍ර‍මාණය අන්තඃ කල්ප දෙසීය පණස් හයකි. (අසූවක් ලෙසද සඳහන් වේ.)

පිළිවෙළින් සත් වරක් ගින්නෙන් ලෝකය නැසේ. අටවන වාරයේ ජලයෙන් නැසේ. මෙසේ නැසෙන ලෝකය සූ සැට (64) වන වාරයේ දී වායුවෙන් නැසේ. ගින්නෙන් ලෝකය විනාශ වන විට ආභස්සරයෙන් යට සියල්ල නැසේ. ජලයෙන් විනාශ වන කල්හි සුභකිණ්හයෙන් යට ද, වාතයෙන් විනාශ වන කල්හි වේහප්ඵලයෙන් යට ද සියල්ල විනාශ වේ. බොහෝ කාලයක් විශ්වයේ මෙම භූමි තිබූ තැන් හිස්ව පවතී. අපරාපරිය වේදනීය කර්මය ආදියේ උපකාරය නිසා සත්වයෝ ඉහළ භූමිවල ඕපපාතිකව ඉපදී වාසය කරයි. සමහරුන් කර්මානුරූපව වෙනත් සක්වලක හෝ උපත ලබයි.

ඉන්පසුව අති දීර්ඝ කාලයක් ගිය පසුව නැවත ලෝකය හැදෙන්නට පටන් ගනී. පහළ භූමි හැදෙන්නට සුදුසු පරිසරය සැකසෙන විට සත්වයෝ ඒවායෙහි හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව උපත ලබයි. ඕපපාතිකව මෙන්ම පසුව හේතු සකස් වන විට අණ්ඩජ, ජලාබුජ, සංසේදජ ලෙස ද උපත ලබයි.

කල්පය කොතරම් දීර්ඝද

යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස යකඩින් කළ පවුරකින් වට කළ නුවරක් තිබේ. එය සම්පූර්ණයෙන්ම අබ ඇටවලින් පුරවා, අවුරුදු සියයකට වරක් එයින් අඹ ඇට එකක් බැගින් ඉවත් කරමින්, යම් දවසක ඒ අඹ ඇට සියල්ලම ඉක්මනින් ඉවත් වේ. එහෙත් කල්පය අවසන් නොවේ. (සාසප සූත්‍රය)

දිගින් පළලින් උසින් යොදුනක් වූ, සිදුරු නැති තනි කළු ගල් පර්වතයක් තිබේ. එයට වසර සියයකට වරක් එක පුරුෂයෙක් නැඟ කසී සළුවකින් එය පිරිමදී. ඒ මහා කළු ගල් පර්වතය යම් කලෙක ගෙවුණත් කල්පය අවසන් නොවේ. (පබ්බත සූත්‍රය)

අතීතය බැලිය හැකි තවත් වසර සියයක් ජීවත් විය හැකි ශ්‍රාවකයින් සතර දෙනෙක් සෑම දිනකම කල්ප ලක්ෂය (සිය දහසක්) බැඟින් අතීතය බලයි. අවුරුදු සියයක් ජීවත් වීම ඉක්මනට අවසන් වී ඔවුන් කලුරිය කරයි. එහෙත් කල්ප සිහිකර අවසන් කළ නොහැකි වේ. (සාවක සූත්‍රය)

ගංගා ගඟ පටන් ගන්නා තැන සිට මහ මුහුදට වැටෙන තැන දක්වා තිබෙන සම්පූර්ණ වැලි ප්‍රමාණය මෙතෙක් යැයි ගණන් කිරීම ලෙහෙසි නොවේ. ගත වූ කල්ප ඊට වඩා වැඩි ය. ගත වූ කල්ප සියයක් දහසක් යැයි ගණන් කිරීම පහසු නැත. (ගංගා සූත්‍රය)

මේ ආකාරයට කල්පයේ දීර්ඝකම තේරුම් ගත යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT