Danusha Marine සමාගම විසින් මෙරට නිෂ්පාදිත විශාලතම ධීවර යාත්‍රාව එළිදැක්වීම ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් සහ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වැනිදා දික්ඕවිට ධීවර වරායේදී සිදු කෙරිණි.
අඩි 80ක දැවැන්ත ප්‍රමාණයේ මේ ධීවර යාත්‍රාව සෝමාලියාවෙන් ලැබුණු ඇණවුමකට අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නවීන තාක්ෂණයට අනුකූලව නිපදවා තිබීම විශේෂත්වයකි. Danusha Marine සමාගම දකුණු කොරියාව, කෙන්යාව, ස්වීඩනය, නෝර්වේ ඇතුළු විදෙස් රටවල් රැසකටම ධීවර යාත්‍රා නිෂ්පාදනය කර අපනයනය කරයි.
එහිදී අදහස් පළ කළ ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙලෙස පැවැසීය.
“පසුගිය මාස තුනක කාලයේ ධීවර අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය ඉතා සැලකිල්ලෙන් අධීක්ෂණය කළා. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බොහෝ ආයතන පසුගිය කාලයේදී විශාල පසුබෑමකට ලක්ව තිබුණා. දක්ෂ සහ පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටියදීත්, දේශපාලන බලපෑම් නිසා ඔවුන්ගේ කාර්යක්ෂමතාව නිසි ලෙස භාවිත කිරීමට නොහැකි වුණා. මේ පිළිබඳව මම ඉතාම කනගාටු වෙනවා. නමුත් වර්තමානයේ යහපත් නායකත්වයක් ලැබී තිබෙනවා. එනිසා අමාත්‍යාංශයේ සියලුම කාර්ය මණ්ඩල නිදහස්ව සහ දේශපාලන බලපෑමකින් තොරව කාර්යක්ෂමව සේවය කිරීමට සූදානම්. Danusha Marine සමාගමේ සභාපති සුමිත්‍ර ප්‍රනාන්දු මහතා වැනි දක්ෂ ව්‍යවසායකයන් බිහිවීම රටට අවශ්‍යයි. ඉදිරියේදී මෙවැනි ධීවර යාත්‍රා පමණක් නොව විශාල නැව් පවා මෙරටදීම නිෂ්පාදනය කිරීමට හැකි විය යුතුයි.”
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා
“අපේ රට විශිෂ්ට මානව සම්පතකින් පිරිපුන් රටක්. භූ දේශපාලනික පිහිටීම අතින් ද අපේ රට ලෝකයේම සුවිශේෂී රටක්. මෙවැනි ධීවර බෝට්ටු නිෂ්පාදනයෙන් අපේ රටට ධීවර බෝට්ටු නිෂ්පාදනයේ හැකියාව ඇති බව ලෝකයටම පසක් කරවන්න පුළුවන්. මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන ධීවර බෝට්ටු මීළඟ පියවර වශයෙන් දේශීය ධීවර කර්මාන්තයේ නියැළෙන්නන් වෙත ලබාදිය යුතුයි. මෙතැනින් නොනැවතී දේශීය යාත්‍රා නිෂ්පාදනය දක්වා ඉදිරියට යා යුතුයි. ඒ සඳහා තාක්ෂණය තවදුරටත් දියුණු කළ යුතුයි.”
මේ අවස්ථාවට Danusha Marine සමාගමේ සභාපති සුමිත්‍ර ප්‍රනාන්දු ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.
බුද්ධිකා ඉඹුලාන