Home » ජනතා සුබසිද්ධිය වෙනුවෙන් රජය ගන්නා තීරණවලට සහාය දෙනවා

ජනතා සුබසිද්ධිය වෙනුවෙන් රජය ගන්නා තීරණවලට සහාය දෙනවා

- මන්ත්‍රී ජේ.සී. අලවතුවල

by sachintha
March 5, 2025 4:58 pm 0 comment

ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වත්මන් රජය ගන්නා තීරණවලදී විපක්ෂයේ සහාය ලබාදෙන බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවසීය.

අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නාමයෝජනා මේ වන විට කැඳවා තිබෙනවා. මේ මැතිවරණයට විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වෙනවා. පළාත් පාලන 341ට අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වෙනවා. එහිදී පළාත් පාලන කටයුතු සඳහා මහජන නියෝජිතයන් 8355ක් පත් වෙනවා. මේ මැතිවරණය අපට අත්‍යවශ්‍යයයි. අයවැය අවසන් වෙලා මේ මැතිවරණයට නාම යෝජනා කැඳෙව්වා නම් හොඳයි. මේ අමාත්‍යාංශය මඟින් විශාල කාර්යභාරයක් ජනතා සේවාවන් සිදු වෙනවා. ගමේ ග්‍රාම නිලධාරිවරයාගේ සිට එම සේවාවන් අයත්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ගැටලු විසඳා ගැනීමට ජනතාව කොපමණ නම් පැමිණෙනවාද. නමුත් ඒ අයගෙන් කීයෙන් කීදෙනාගේද ගැටලු විසඳෙන්නේ කියන ගැටලුව තිබෙනවා. 2016 සිට 2020 දක්වා කාලයේ දී සියයට 107කින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා.

එහෙම වුණා කියලා රජයේ සේවකයන්ට හොඳ ජීවිතයක් ගත කිරීමට නොහැකි වුණේ රටේ බංකොලොත්භාවය නිසා. විශ්‍රාමිකයන් තමයි වැඩිපුරම ගැටලුවලට මුහුණ දෙන්නේ. විශාල පීඩාකාරි තැනකට මේ රාජ්‍ය සේවාව ඇඳගෙන යනවා. ඒ පීඩාව නිසාම තමයි වත්මන් ආණ්ඩුව පත්කර ගැනීමට රාජ්‍ය සේවකයන් සහාය ලබාදුන්නේ. වත්මන් රජය ඉස්සරහට ගෙන යාමේදී කඩාකප්පල් කරන්න අපි කටයුතු කරන්නේ නැහැ. අපි විපක්ෂයක් වුණත් ජනතාවගේ යහපත උදෙසා ගන්නා තීරණවලට අපි සහාය දෙනවා. රටේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT