Home » ඩුබායි ගිහින් දුම්වැටි ගෙනා කතුන් දෙදෙනා මාට්ටු

ඩුබායි ගිහින් දුම්වැටි ගෙනා කතුන් දෙදෙනා මාට්ටු

by sachintha
March 5, 2025 4:31 pm 0 comment

රුපියල් ලක්ෂ තිහක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනකු ඊයේ (4) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මොවුන් දෙදෙනා අතරින් එක් අයකු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකි. අනෙක් තැනැත්තිය නාරම්මල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියකි. මොවුන් දෙදෙනා මෙම දුම්වැටි තොගය රැගෙන ඒම සඳහාම සංචාරක වීසා යටතේ ඩුබායි බලා ගොස් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මොවුන් ඊයේ (4) දින අලුයම 1.35ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත ‘ප්ලැටිනම්’ වර්ගයේ දුම්වැටි 20,000ක් අඩංගු දුම්වැටි කාටූන් 100ක් සඟවාගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබ තිබුණි. මේ වන විට මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර, අද (5) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT