කතරගම දේවාලය වන්දනා කර සිය ගම්බිම් වෙත යන අතර රථය පාලනය කරගත නොහැකිව මැණික් ගඟට වැටීමෙන් ජීවිත අහිමි වන්නට ගිය හතර දෙනකුගේ ජීවිත බේරාගැනීමට කතරගම තරුණයකු ඉකුත් 28 වැනිදා ක්‍රියා කරන ලදි.
පසුගිය දින කොළඹ සිට පැමිණි මෙම වෑන් රථයේ පිරිස දේවාලයේ පූජා තබා අවසන් වී යන අතර කතරගම කිරිවෙහෙර මාර්ගයේ ඇති නිලකාරාම විහාරය අසල පාලමෙන් මැණික් ගඟට වෑන් රථය පෙරළී ඇත. රාත්‍රී 11.00ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, මේ දින මහා වැසී ඇතිවීම නිසා මැණික් ගඟේද විශාල ජල කඳක් පහළට ගලා බසිමින් තිබී ඇත. කුඩා දරුවන් දෙදෙනකු, වැඩිහිටි මාතාවක් හා කාන්තාවක් සමඟ ගමන් කරමින් තිබූ වෑන් රථයේ රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව ජලයට වැටී ජල රකුසා සමඟ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින අතරතුර පාලම මතින් ගමන් කළ තරුණයකු වන ඉන්ද්‍රජිත් ජයලාල් මහතා හට කුඩා දරුවන්ගේ හඬක් කරුවලේ ඇසී ඇත. මහා ජල කඳ මත පැද්දි පැද්දී ඇති රථය දුටු ඉන්ද්‍රජිත් තම ජීවිතය ගැන නෙසිතා ගඟට පැන ජලයට යට වෙමින් ඇති වෑන් රථයට ගොඩ වී දොරවල් වැසුණු රථය තුළ සිරව සිටින පිරිස බේරාගැනීමට මාරාන්තික සටනක නිරතව ඇත.
තමන් ගඟට පැනීමෙන් පසුව අත්විඳි ත්‍රාසජනක අත්දැකීම පිළිබඳ අදහස් දැක් වූ ඉන්ද්‍රජිත් ජයලාල් මහතා සඳහන් කළේ “මම ගඟට පැන්නා. ඒ වෙන කොට රාත්‍රී නිසා කවුරුත් පාලමෙන් යන වෙලාවක් නෙවෙයි. උදව් ඉල්ලන්න බැරි නිසා වාහනේ ළඟට පීනුවා. ඒ වෙනකොටත් වාහනයට වතුර ගිහින්. ඇතුළේ අයට දොරේ ලොක් එක අරින්න සංඥා කළා. ඒ අය කෑ ගහනවා. බැරිම තැන දොරේ ලොක් එක ඇදලා පුංචි දරුවෝ බේරාගෙන ඉවුරේ තියලා වයසක ආච්චි කෙනෙක් බේරාගෙන ඉතුරු දෙන්නත් බේරාගත්තා. මම නොසිටින්න මේ අසරණයෝ ඉවරයි. කතරගම දෙවියන් මම විශ්වාස කරනවා. නැත්නම් මේ අය බේරාගන්නවා බොරු” යනුවෙන් ඉන්ද්‍රජිත් ජයලාල් තරුණයා පවසා සිටියේය. ඉන්ද්‍රජිත් තරුණයා විසින් තම දිවි නොතකා මෙම බේරාගත් පිරිස කොළඹ ප්‍රදේශයේ අය වන අතර, ඔවුන් සඳහන් කළේ, අපේ තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමට අකමැති බවත් මාර්ගයේ පල්ලමක් සහිත බෑවුමක් ලෙස සඳහන් කර දැන්වීම් පුවරුවක් තිබුණා නම් මෙම අනතුර සිදු නොවන බවයි. මේ මාර්ගයේ විදුලි කණුවක්වත් නෑ. පාර කළුවරයි. අපිව දෙවියන් බේරුවා. අපි බේරාගත් මල්ලි ගැන කියන්න. අපි ගැන අහන්න එපා යනුවෙන් දිවි බේරාගත් පිරිස සඳහන් කරන ලදි. තම දිවි නෙතකා මෙම පිරිස බේරාගත් 28 හැවිරිදි ඉන්ද්‍රජිත් ජයලාල් අවිවාහක තරුණෙයකි. කතරගම කිරිවෙහෙර සෙල්ල කතරගම සිට එන ප්‍රධාන වාහල්කඩ දොරටුව ආසන්නයේ ඇති පූජා වට්ටි කඩයක් කර ජීවත් වන මෙම තරුණයා කළ කැපවීමට වටිනාකමක් දිය යුතුය.
කතරගම – කේ.ඩී. දේවප්‍රිය